Header Ads

හදිසි අනතුරෙන් ඔත්පළ වුවත් දෛවයට අභියෝග කරමින් සාපෙල විභාගයෙන් ඒ 8ක් ලබා ගත් දිරිය දියණියගේ කතාව (PHOTOS)

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත්වී ඒ සාමාර්ථ 08 ක්‌ සහ සී සාමාර්ථයක්‌ සහිතව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ දිරිය දියණියක්‌ පිළිබඳව ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 

ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස්‌ බාලිකා විද්‍යාලයේ රාධා ආරියරත්න සිසුවියයි. මීට වසරකට පමණ පෙර සිදුවූ අනතුරක්‌ නිසා ඇය මේ වන විටත් සිටින්නේ සිය දෙපා හරි හැටි ක්‍රියාත්මක නොවන තත්ත්වයේය.

දහසකුත් කරදර මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාගයේ මෙවන් උසස්‌ ජයග්‍රහණයක්‌ ලැබූ රාධා දැරිය සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙසේ පවසන්නීය.

"2016 අප්‍රේල් මාසයේ සිදුවූ අනතුර නිසා අක්‌කා, මම සහ තාත්තා තවමත් ඇවිද ගන්න බැරිව ඉන්නේ. තාමත් ඒ දෙන්නට ඇවිදින්න බෑ. මට පාසල් යන්න වුණේ නෑ එදා ඉඳලා. හැබැයි ඇගයීම වාර විභාග ගෙදර දී මට කරන්න සවුත්ලන්ඩ්ස්‌ සන්ධ්‍යා විදුහල්පතිනිය ඇතුළු ගුරුවරු උදව් කළා. මම කිසිවෙලාවක පසුබට වුණේ නෑ. මාස කිහිපයක්‌ අපි රෝහලේ හිටියා. යාළුවෝ, පවුලේ අය හැමෝම උදව් කරා. මම අනිත් අයටත් කියන්නේ මොන බාධක තිබුණත් උත්සාහය තියේ නම් අපිට ඕන වැඩක්‌ කරන්න පුළුවන්. මාගේ අනාගත බලාපොරොත්තුව විශේෂඥ වෛද්‍යවරියක්‌ වෙලා රටට සේවය කරන්නයි."

දැරියගේ මව කේ. එල්. මාලනී මහත්මිය මෙසේ පැවසුවාය.

"ගාල්ල කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර අරගත්තා. කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ විශාල උත්සාහය නිසාම දැන් ගොඩාක්‌ දුරට කකුල සුවයි. මගේ දරුවාගේ පාද දෙක මාස කිහිපයක්‌ එකම තැනක තියාගෙන එක්‌ පාදයකින් අනිත් පාදයට රුධිරය ඒමට සලස්‌වන විදියේ ශල්‍යකර්මයක්‌ කරාපිටියේ වෛද්‍යවරු කළා. ඒ නිසා තමයි මේ තත්ත්වයේ හරි ඉන්නේ. නමුත් තවමත් ඇවිදින්න බෑ. හැබැයි මෙයා කිසිම අවස්‌ථාවක පසුබට වුණේ නෑ. පාද දෙක එකම ආකාරයට තියාගෙන පාඩම් වැඩ කළා. පාසලේ ගුරුවරු ගෙදරට ඇවිල්ලා පාඩම් කියලා දුන්නා. අද එහි ජයග්‍රහණය ඇවිත් තියෙනවා. හැමෝටම ස්‌තූතියි."

සවුත්ලන්ඩ්ස්‌ විද්‍යාලයේ විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය මෙසේ පවසන්නීය.

“දරුවා හරි ධෛර්යවන්ත දරුවෙක්‌. අනතුරවුණු වෙලාවේ මම හිතුවේ නෑ. මේ තත්ත්වයටවත් නැගිටීව් කියලා. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය උදව් කළා. හැම විෂයක්‌ම උගන්වන ගුරුවරු ඉගැන්වූවා. විභාගය කාලය තුළ පාසල් නේවාසිකාගාරයේ ඇය අපි රැඳෙව්වා. ඒ පාඩම් වැඩ කටයුතු ලේසි වෙන්න. හරිම සතුටුයි මේ සම්බන්ධයෙන්."
nethgossip.lk


 


 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.