Header Ads

ජනපති පුතාට කියා පොලිස් කොස්තාපල්වරයෙක් සිගරට් ගෙන්නගනී.


ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය.

නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු රාජකාරියේ නිරතව සිටියේය.

දුම් පානයට තදින් ඇබ්බැහි වී සිටි මේ නිලධාරියා ඒ මොහොතේ සිටියේ දුම්වැටියක්‌ පානය කිරීමේ තදබල අවශ්‍යතාවකින් ය. එහෙත් දුම්වැටියක්‌ ගෙන ඒම සඳහා වෙළෙඳසලකට යෑවීමට තරම් කෙනෙකු සිටියේ නැත.
ප්‍රභූ නිවසේ සිට මෝටර් රථයක්‌ පිටතට යැමට පැමිණියේ මේ අතරතුරදී ය.

නිවසේ ගේට්‌ටු රාජකාරියේ නිරතව සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා විසිල්පාරක්‌ ගසමින් මෝටර් රථය නතර කළේය. මෝටර් රථයේ රියෑදුරු අසුනේ සිටි පුද්ගලයා වීදුරුව පහත් කර පොලිස්‌ කොස්‌තාපල්වරයා දෙස බලා සිනාසුණේය.

“ඇයි රාළහාමි මොකක්‌ද වුවමනාව” මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික ලෙස පොලිස්‌ නිලධාරියාගෙන් විමසුවේය.

“මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගෙනත් දෙනවද? මෙන්න සල්ලි”

පොලිස්‌ කොස්‌තාපල්වරයා රුපියල් 50 නෝට්‌ටුවක්‌ මෝටර් රථයේ සිටි පුද්ගලයා අත තැබුවේය. ඒ කාලයේ සිගරැට්‌ පැකට්‌ටුවක මිල රුපියල් 20 කි. පොලිස්‌ නිලධාරියා මෝටර් රථයේ සිටි පුද්ගලයා අතට මුදල් දී සිගරැට්‌ ගෙන එන ලෙස කීවේ තරමක නියෝගාත්මක ස්‌වරයකිනි.

“රාළහාමි මම හදිස්‌සි වැඩකට යන්නේ. එන්න ටිකක්‌ ප්‍රමාද වෙයි. ප්‍රමාද වෙලා සිගරැට්‌ ගෙනාවට කමක්‌ නැද්ද?”

මෝටර් රථයේ සිටි පුද්ගලයා බොහොම කාරුණික හඬින් කීවේය.

“ඒකට කමක්‌ නැහැ. ඔයා එන වෙලාවක සිගරැට්‌ පැකට්‌ එක අරගෙන එන්න” කොස්‌තාපල්වරයා කීවේය. මෝටර් රථය ප්‍රභූ නිවසින් නික්‌ම ගියේය. පැය කීපයකට පසු මේ මෝටර් රථය වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රභූ නිවසට ඇතුළු වුණේය. ඒ වන විට පොලිස්‌ කොස්‌තාපල්වරයා ගේට්‌ටු රාජකාරියේ සිටියේ නැත. ඔහු තම සේවා කාලවේලාව නිම කර විවේක ගැනීම සඳහා භට නිවහනට ගොස්‌ සිටියේය.

මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා ගේට්‌ටු රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා සොයන්නට පටන් ගත්තේ සිගරැට්‌ පැකට්‌ටුව සහ ඉතිරි මුදල් ද තම දකුණු අතේ රඳවාගෙනය.

ඒ වන විට ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට සිටි නිලධාරීන් කලබලයට පත්ව සිටියහ.

“ඇයි සර්….. මොකුත් ප්‍රශ්නයක්‌ ද?”

ප්‍රභූ ආරක්‍ෂක ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විමසුවේය.
“කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ගේට්‌ටුවේ ඩියුටි හිටපු රාළහාමි මට සිගරැට්‌ පැකට්‌ එකක්‌ ගේන්න කියලා සල්ලි දුන්නා. මම ඒක අරගෙන ආවා. කෝ ඒ රාළහාමි. මට මේක එයාට භාර දෙන්න ඕනෙ.”

මෝටර් රථයෙන් ආ පුද්ගලයා කිසිදු කලබලයකින් තොරව කීවේය. සිද්ධිය ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් තුෂ්නිම්භූත වූහ. ඔවුන් එකිනෙකාගේ මුහුණ බලා ගත්හ.

ගේට්‌ටුවේ රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නියෝගමත සිගරැට්‌ පැකට්‌ටුව රැගෙන ආවේ වෙන කවරකුවත් නොව ප්‍රථම විධායක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනගේ එකම පුත්‍රයා වූ රවී ජයවර්ධන ය.

“සර්….. අපට සමාවෙන්න. මේ නිලධාරියා කරලා තියෙන්නේ බොහොම බරපතළ වැරැද්දක්‌. අපි එයාගෙ වැඩ තහනම් කරලා අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

ජනාධිපතිවරයාගේ නිවසේ ආරක්‍ෂාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා රවී ජයවර්ධනගෙන් සමාව අයෑද සිටියේය. එපමණක්‌ නොව මේ නිලධාරියාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පොරොන්දු වූවේය.

“නෑ නෑ ඒ මනුස්‌සයාට කරදර කරන්න එපා. එයාගෙ වැඩ තහනම් කරන්නත් එපා. ඒ නිලධාරියා මම කවුද කියලා අඳුනන්නෙ නැතිව වෙන්න ඇති එහෙම කළේ.”

රවී ජයවර්ධන බොහොම සැහැල්ලුවෙන් කීවේය. රවී ජයවර්ධන සිගරැට්‌ ගෙන ඒමට කඩයට යෑවූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ වැඩ තහනම් කළේ නැත. ඔහු අත්අඩංගුවට ගත්තේ ද නැත. ඒ නිලධාරියා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ජනාධිපති නිවසේ රාජකාරි කළේය.

රවී ජයවර්ධන නමැති චරිතය මොන තරම් නිහතමානී නිහඬ චරිතයක් ද යන්න තේරුම් ගැනීමට මේ සිද්ධිය හොඳම උදාහරණයකි.

තම පියා සතුව තිබූ අසීමිත බලතලවලින් කිසි විටෙකත් ඔළුව උදුම්මා නොගත් ඒ මිනිසා අද ජීවතුන් අතර නැත. ඔහු පසුගිය දා සිය ජීවිතය අතහැර ගොසින්ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.