Header Ads

පැහැර ගැනීමක් බවට පැවසුණු ඉපලෝගම කොල්ල කල්ලි නායකයාගේ සැබෑ තතු හෙළිවෙයි


අනුරාධපුර, ඉපලෝගම සිය නිවසේ සිටියදී සන්නද්ධ පිරිසක් විසින් පැහැරගනු ලැබූ බව පැවසුණු පුද්ගලයා අද අලුයම නොච්චියාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අජන්ත පුෂ්පකුමාර බියගම නැමති 38 හැවිරිදි මොහු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසිනි.

පොලීසිය පවසන්නේ, මොහු 2014 වර්ෂයේ සිට අනුරාධපුර ප්‍රදේශයේ මහාපරිමාණ සොරකම් හා කොල්ලකෑම රැසක් සිදුකළ අපරාධ කල්ලියක ප්‍රධානියෙකු බව ය.

සැකකරු ඉකුත් 9 වන දා සිය නිවසේ සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් පැහැර ගෙන ගිය බවට ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිල්ලක් කර තිබිණ.

එහෙත් හෙළි වී ඇත්තේ සැකකරුගේ ම සැලසුමක් අනුව මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි.

මෙම පුද්ගලයා පසුගිය සමයේ උතුරුමැද පළාතේ සිදු වූ මහාපරිමාණ කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

  • 2016 – නොවැම්බර් 26 අනුරාධපුර මූල්‍ය ආයතනයකට ඇතුළු වී එහි සේප්පුව කඩා රු. කෝටි 7 කට අධික රත්‍රං කිලෝ 11යි ග්‍රෑම් 500 ක් සොරකම් කිරීම.
  • 2014 – වසරේ දෙසැම්බර් 10 වන දින අනුරධපුර ප්‍රධාන පෙළේ රෙඳිපිළි අලෙවිසලකට කඩා වැදී රු. ලක්ෂ 15ක් කොල්ල කෑම.
  • 2015 – නොවැම්බර් අනුරාධපුර යාපනය හන්දියේ ව්‍යාපාරික ස්ථානයක ආරක්ෂකයාට පිහියෙන් ඇන එහි සේප්පුව කපා රුපියල් ලක්ෂ 3ක් කොල්ල කෑම.
  • සාලිය පුර හමුඳා කඳවුර ඉදිරිපිට පිහිටි බැංකුවකට ඇතුළු වී එහි සේප්පුව කපා ලක්ෂ 2ක් කොල්ල කෑම.
  • අනුරාධ පුර ස්වර්ණාභරණ අලෙවි සලකට කඩා වැදී එහි සේප්පුව කපා රුපියල් ලක්ෂ 29ක් කොල්ල කෑම.
  • අනුරාධපුර වාණිජ බැංකුවක ෆිනෑන්ස් ශාඛාවකට ඇතුළු වී එහි සේප්පුව කපා රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් කොල්ල කෑම.
ඉහත සියලු අපරාධ මෙම පුද්ගලයාගේ මෙහෙයවීමන් සිදුව ඇති අතර මුදල් සේප්පු කැපීමට සම්බන්ධ වූ යාපනය වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි දමිළ ජාතිකයෙකු ද මොහු සමග සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොල්ල කල්ලියේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙම පුද්ගලයාට එරෙහිව නිධානවලින් ලබා ගන්නා ලද රන් කාසි බවට හඟවමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද කාසි හා මැණික් ගල් විකිණීම සහ කොල්ලකෑම් අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.