Header Ads

දැවැන්ත ටූටන්කාමන් ප්‍රතිරූපය බිඳ වැටුණු හැටි


ටූටන්කාමන්, එසේත් නැතහොත් තූතන්කාමන් යන වචනය ඇසූ පමණින් ඒගැන දන්නා ඕනෑම කෙනෙකුගේ හිතේ සිහින් බියක් ඇතිවෙයි. එසේ වන්නේ පාරාවෝ ටූටන්කාමන් රජතුමා ඊජිප්තු රජ කෙනෙක් නිසානොව පිරමීඩයක් තුළ සඟවා තිබූ ටූටන්කාමන් රජතුමාගේ සොහොන සොයාගත් හැමකෙනෙකුටම කුමක්කෝ ශාපයක් වැදී මියයන්නට සිදුවුණු නිසාය. 

මෙම සොහොන සොයාගැනීමට මුල්වී කටයුතු කළේ බ්‍රිතාන්‍ය ජාතික හොවාර්ඩ් කාටර් නම් පුරාවිද්‍යාඥයෙකි. ඔහු ඊජිප්තු නෂ්ටාවශේෂ පිළිබඳ විද්වතෙකි. 1874 වසරේ ඉපදුණු මෙම පුරාවිද්‍යාඥයා පාරාවෝ ටූටන්කාමන්ගේ සොහොන සොයාගෙන ඇත්තේ 1922 අවුරුද්දේ නොවැම්බර් හතරවෙනිදාය. ඒ වන විට කාටර්ගේ වයස අවුරුදු 48කි. ඊට අවුරුදු 17කට පසු 1939 දී කාටර් මියගොස් තිබේ. ඒ වයස අවුරුදු හැට පහේදීය.

වයස අවුරුදු හැට පහේදී මිනිසෙක් මැරෙන එක ශාපයක් යැයි කිවනොහැකිය. නමුත් 1922 ත් 1939 ත් අතර කාලයේ කාටර් මහා පුදුමාකාර අත්දැකීම්වලට මුහුණ දුන් බව ‍පොත්පත්වල සඳහන් වේ.

ඔහු මෙම සොයා ගැනීම සිදු කළ පසු ඔහුගේ පවු‍ලේ සාමාජිකයන් කීපදෙනකුටම අකාලයේ මිය යන්නට සිදු වී තිබේ. කාටර් සුරතලයට ඇති කළ බල්ලා පවා කිසිම හේතුවක් නොමැතිව මියගොස් තිබූ බව වාර්තා වේ. එපමණක්ද නොව කාටර් සිය ජීවිතයේ අවසාන කාලය ගත කර තිබුණේ බලාගත් අත බලාගෙන තනිව කියවමිනි.

ටූටන්කාමන් රජතුමා ඊජිප්තුව පාලනය කළ බවට සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව 1332 සහ ක්‍රිස්තු පූර්ව 1323 අතර කාලයේය. නමුත් වයස අවුරුදු 19 ලබද්දී මේ රජතුමා අකාලයේ මියගොස් තිබේ. කුඩා දරුවෙකුගේ වයසේදී රජකම ලැබුණු නිසා ඔහු බෝයි කිං ලෙසද හඳුන්වයි. 

ඔහු මියගොස් ඇත්තේ ශරීරයේ ඇති වුණු සංකූලතාවක් හේතුවෙනි. ඒ ගැනද විවිධ මත තිබේ. වරක් බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පිරිසක් බෝයිකිං නොහොත් පාරාවෝ ටූටන් කාමන්ගේ අස්ථි පද්ධතියේ වෝහාරික විශ්‍ලේෂණයක් සිදුකර තිබිණි. එම විශ්‍ලේෂණයෙන් ඔප්පු වුණු කරුණු පුදුමාකාරය. ඒවා නම් මෙසේය.

බෝයිකිං නොහොත් පාරාවෝ ටූටන්කාමන් උල් සහිත දත් තිබුණු කෙනෙකි. ඔහු දත් පෙනෙන ආකාරයට සිනා සෙන්නට හෝ කතා කරන්නට කැමති නොවුණේ තමන්ගේ උල් දත් අනිත් අය දකින නිසාය. 

එමෙන්ම මෙම වෝහාරික පර්යේෂණයේදී ඔහු ආබාධිත පුද්ගලයෙකු බවත් ඔප්පු වී තිබේ. ඔහුගේ එක් කකුලක් අනිත් කකුලට වඩා මදක් කෙටිය. එම කකුල උපතේදීම ඇඹරුණු ස්වභාවයක් ගෙන තිබේ. ඒ නිසා ඔහු ඇවිදින විට ඒ කකු‍ලේ මුළු පතුලම බිම වැදී නැත. බිම වැදී ඇත්තේ පතු‍ලේ එක් දාරයක් පමණි. අනිත් කාරණය ඔහුගේ සොහොන තුළ තිබි හැරමිටි 130ක් හොයාගෙන තිබිණි. ඒවා ඔහු සිය ජීවිත කාලය තුළ පාවිච්චියට ගත් හැරමිටි බවට සාක්ෂි තිබේ.

බ්‍රිතාන්‍ය පර්යේෂකයන් සොයා ගත් තවත් දෙයක් නම් පාරාවෝ ටූටන්කාමන්ගේ ශරීරයේ හැඩයයි. ඔහුගේ ශරීරය පිරිමියෙකුට වඩා කාන්තාවකට සමාන හැඩයකින් යුතුව තිබේ. එනම් වයස අවුරුදු දාහතර පහළොව අතරේ තරුණියකගේ මෙන් අර්ධ වශයෙන් වර්ධනය වූ පියයුරු ඔහු සතු විය. ඒ නිසා ඔහු අනිකුත් පාරාවෝ රජවරුන් මෙන් උඩුකය සඳහා ආභරණ පමණක් පැළඳ සිටින්නේ නැතිව සෑම විටම තමන්ගේ පියයුරු ආවරණය කරගන්නට උත්සාහ කර තිබේ. ඒ නිසා අනිත් පාරාවෝ රජවරුන්ට නැති තරම් උඩුකය ඇඳුම් සහ උඩුකය ආභරණ විශාල ප්‍රමාණයක් මෙම බෝයිකිං සතු විය.

පුරාවිද්‍යා පර්යේෂකයන් පරාවෝ ටූටන්කාමන්ට මේ ආකාරයේ පුදුම සිරුරක් තිබිමට හේතුව මේ වනවිට සොයාගෙන තිබේ. එනම් පාරාවෝ ටූටන්කාමන්ගේ මව සහ පියා එකම පවු‍ලේ සහෝදර සහෝදරියන්ය. තවත් පැහැදිලි කරන්නේ නම් එකම මව සහ පියාගේ දුව සහ පුතාය. පාරාවෝ ටූටන්කාමන්ගේ පියා ‘අකෙනටන්’ නම් පාරාවො රජතුමාය. මෙම රජතුමා පළමුවෙන්ම විවාහවී තිබෙන්නේ නෙෆෙටි නම් රජ කුමරිය සමගය. එම විවාහයෙන් මේ දෙදෙනාට නිරෝගී දියණියන් හයදෙනකු සිටිති. රජකම ගෙන යන්නට නම් පිරිමි දරුවෙකු අවශ්‍යය යන අදහසට අනුව අකෙනටන් රජතුමාගේ දෙමාපියන් ඔවුන්ගේ දියණිය, එනම් අකෙනටන්ගේ සහෝදරිය වූ ‘ඇන්කේසෙනමන්’ සමග විවාහ වෙන්නැයි ඔහුට බලපෑම් කර තිබේ. බෝයිකිං නොහොත් පාරාවෝ ටූටන්කාමන් යනුවෙන් අප අද කතාකරන්නේ එම විවාහයෙන් ලද දරුවාය.

පර්යේෂකයන් පවසන්නේ සහෝදර සහෝදරියන් දෙන්නෙකුට දාව ඉපදෙන දරුවකුට මේ ආකාරයේ විශේෂිත අවස්ථා සිදුවන්නට හැකි බවය. එය හෝමෝන විසංතුලනයක් බව ඔවුන් පැහැදිලි කර තිබේ. 

අකෙනටන් රජතුමා ක්‍රිස්තු පූර්ව 1336 දී මියගිය අතර ඒ මරණයෙන් පසු ටූටන්කාමන් නම් පුංචි දරුවා රජකමට පත්වී තිබේ. නමුත් ඔහු රජකම් කරන්නට තරම් මේරූ කෙනෙකු වූයේ නැත. එමෙන්ම ඔහු ආබාධිත පුද්ගලයෙකු වූ නිසා ඊජිප්තු වැසියන් මේ පුංචි රජතුමා පිළිබඳව පැහැදීමකින් සිට නැත. ඔහු වයස අවුරුදු දහ නවයේ දී අශ්වයින් පදින්නට ගොස් අශ්වයාගේ පිටින් වැටී ඔළුව පැලී මියගිය බවටද මතයක් තිබේ. ඔහුගේ සැකිලි පද්ධතියේ හිස්කබ‍ලේ පැලීම් සලකුණක් ද දකින්නට තිබිම එය තවත් තහවුරු කරයි.

අවුරුදු දහනවයක තරුණයෙකු වුවද ඔහු ආබාධිත පුද්ගලයෙකු නිසා සාමාන්‍ය තරුණයෙක් තරම් හොඳින් අශ්වයෝ හසුරුවන්න ඔහුට නොහැකිවන්නට ඇත. තවත් මතවලට අනුව නම් පාරාවෝ ටූටන්කාමන් මියගොස් තිබෙන්නේ උපතේ සිටම තිබූ අසනීප තත්ත්වයන් නිසාය. අශ්වයින් පදින්නට තරම් නිරෝගී බවක් ඔහුට තිබි නැත. හිස්කබ‍ලේ ඇති පැලීම් සලකුණ ඇති වී තිබෙන්නේ ආබාධිත රජකෙනෙකු යටතේ ජීවත්වෙන්න අකමැති  වූ කිසියම් කෙනෙකු ඔහු මරා දමන්න ගත් උත්සාහයක දී විය හැකි බවට ද මත තිබේ.

ලක්බිම - දුලංජලී මුතුවාඩිගේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.