Header Ads

ඇමෙරිකාවේ පාළු ගෙවල් ගැන බය හිතෙන ඇත්ත කතා

සෙෆ් ලෝලස් දක්ෂ කැමරා ශිල්පියෙකි. ඔහුගේ හිත වඩාත් ඇදීගියේ පාළු නිවාස හා ගොඩනැගිලිවල ඡායාරූප ගැනීම කෙරෙහිය. 

ගරාවැටුණු, හිස් හා අමත කව ගිය ගොඩනැගිලි ඔහුගේ කැමරා කාචයේ සටහන් වූයේ අපූරු ආකාරයටය. 

තම හයිබ්‍රිඩ් වාහනයේ නැගී ඇමෙරිකාව පුරා යමින් පාළු ගෙවල් හා වෙනත් ගොඩනැගිලි කැමරාවට නැගූ ඔහුට වැඩිකල් නොගොස් වැටහී ගියේ විශේෂයෙන් මේ බොහෝ පාළු නිවාස පසුබිමෙහි අද්භූත කතන්දර ඇති බවය. 

වැඩිපුර ඒ දෙස බලන්නට පවා මිනිසුන් පැකිලෙන හා ඒ නිසාම මිනිස් අඩියක් පවා නොගැටී වසර ගණනාවක් පැවැති නිවාස අසලටම ගොස් ඡායාරූප ගන්නා සෙෆ් ඒ හැම නිවසකම පසුබිම් කතාව අසා දැනගන්නට විය. 

අවසානයේ ඔහු කළේ 13- ඇන් ඇමෙරිකන් හොරර් ස්ටෝරි නමින් එසේ රට වටා යන විට ඡායාරූපයට නැගූ පාළුවට ගිය හොල්මන් ගෙවල් දහතුනක් ගැන තොරතුරු ඇතුළත් කොට ‍පොතක් නිකුත් කිරීමය. 

මේ ‍පොත නිකුත්ව කෙටි කලකින් ඊට විවේචන එල්ලවන්නට වූයේ මේ කියන ආකාරයේ ගෙවල් ඔය කියන ආකාරයේ තැන්වල නැති බව කියමිනි. 

තමා මෙතෙක් නොකී කතාවක් සෙෆ් සුප්‍රකට හෆින්ටන් ‍පෝස්ට් වබේ අඩවියට හෙළි කළේ එවිටය. 

ඒ නීතිමය තත්ත්වයන් මෙන්ම අදාළ ස්ථාන හා ඒ අවට ආරක්ෂාව පතා තමා මේ නිවාස දහතුන ගැන තොරතුරු වාර්තා කිරීමේදී නිවස පිහිටි ස්ථානය ලෙස සඳහන් කළේ වෙනත් තැන් බවය. ‍

පොතේ සඳහන් වන තැන නොතිබුණද ඇමෙරිකාවේ වෙනත් තැනක මෙම නිවාස හා ඊට පසුබිම් වූ කතන්දර තිබේ.

මිචිගන් ප්‍රාන්තයේ ඇති බවට සෙෆ් විසින් තම ‍පොතේ සඳහන් කොට ඇති ද හෝට් මැන්ෂන් නම් නිවස 1941 වසරේදී භාවිත කරන ලද්දේ ඉහළ සමාජයේ පිරිමින්ට කාන්තා පහස ලබා දෙන ගණිකා නිවාසයක් ලෙසටය. 

ඉන් වසර ගණනාව කට පසු නිවසේ භූගත කොටසේ තිබි මළ සිරුරු ගණනාවක් හමු වී තිබේ. මේ හැම මළ සිරුරකම පසුපස හා ලැම කොටසේ පැහැදිලි ලෙස රවුම් ඇඳ තිබුණු බව කියැවෙයි. 

කෙන්ටකි ප්‍රාන්තයේ ඇති බවට සෙෆ් කියන සේයර් නිවසේ පවුලක් කලකට පෙර පදිංචිව සිට ඇති අතර මව හා පියා දෙදෙනාම නිවස තුළ සියදිවි හානිකර ගෙන තිබිණි. 

ඉන් කලකට පසු කිසිවෙකු විසින් අනාවරණය කරගන්නා තුරු ඔවුන්ගේ ළාබාල දරුවන් සිව්දෙනා මෙම නිවස තුළ ජීවත් වූ බව කියැවෙයි.

ඔහායෝහි යන්ග්ස්ටවුන්හි පිහිටා ඇති බවට සෙෆ් කියන ද නෝවා හවුස් නම් නිවසේ හිමි යාවු බෙන්ජමින් ඕල්බ්‍රයිට් අත්වැරදීමකින් තැබූ වෙඩිල්ලකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබේ. 

ඉන් ටික කලකට පසු 1958 වසරේදී පුතු මළ සොවින් දැඩි ලෙස වේදනා විඳිමින් සිටි ඔහු තම බිරියටද වෙඩි තබා තමාද වෙඩි තබාගෙන දිවිනසාගත් බව කියැවේ. එදා සිට පාළුවට ගිය නිවසේ ඕල්බ්‍රයිට් පවු‍ලේ බඩුබාහිරාදිය තවමත් තිබේ.

1942 අගෝස්තු මාසයේ පුද්ගලයින් තිදෙනෙකු එතුළ ඝාතනය කළ බව කියැවෙන ද ටෙම්පල් මැන්ෂන් නම් සුවිසල් නිවස ඇති බව සෙෆ් සඳහන් කොට ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ ඩිටේ‍රායිට් හිය. 

ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතැයි කියැවෙන ද හුලි නම් සුවිසල් මන්දිරය හැත්තෑව දශකයේදී අබිරහස් මරණ කිහිපයක් සිදු වූ නිවසක් වන අතර එය එකල එතැනින් යන එන සංචාරකයින්ට නවාතැන් හා උදය ආහාරය සැපයූ තැනක් විය. 

ඔහායෝ ප්‍රාන්තයේ ඇති බව සඳහන්වන මිලාන් නිවසේ එකල හිමිකරු අසල්වැසියන් විසින් මිලාන් මායාකාරයා ලෙස හැඳින්වුණු පුද්ගලයෙකු වූ අතර ඔහුගේ සිරුර නිවසේ ඉදිරිපස ‍පෝටිකෝවෙහි වළදමා ඇති බව කියැවෙයි.

පෙන්සිල්වේනියාවේ ඇති බව කියැවෙන ඩෝල් හවුස් නම් මන්දිරය බෝනික්කන්ගෙන් පිරී ඇති අතර එහි කාමර රැසක ලෝහමය රාක්ක මත ලෝහ කියත් හා වෙනත් උපකරණ තැන්පත් කර තිබේ. 

ද බේලි මැන්ෂන් ඇති බව කියන්නේ කනෙක්ටිකට් ප්‍රාන්තයේය. සුප්‍රකට ටෙලි නාට්‍ය මාලාවක් වූ ඇමෙරිකන් හොරර් ස්ටෝරි සඳහා පසුබිම් වූයේ බේලි මන්දිරයයි. 

ඔහායෝහි ඇති බව කියන ක්ලිව් ලන්ඩ් නිවස ඝාතන රැසක් සිදුකළ මයිකල් මැඩිසන් නමැත්තා තමා පැහැර ගන්නා පුද්ගලයින් ගෙනැවිත් වදදී ඝාතනය කළ නිවසය. 

පෙනිසිල්වේනියාවේ පිහිටා ඇති බට සෙෆ් කියන ඔලිවර් පවුලට අයිති නිවස නම් ඊට සම්බන්ධ අද්භූත සිදුවීම හේතුවෙන් ප්‍රකට බැවින් එය සැබැවින්ම පිහිටා ඇත්තේ ඉන්ඩියානා ප්‍රාන්තයේ බවත් රහසක් නොවේ.

මෙහි පදිංචිව සිටි ඔලිවර් පවු‍ලේ සියලු දෙනා 1898 වසරේ එක් දිනක සිට දකින්නට නොලැබුණු අතර ඔවුන්ට කුමක් සිදු වූයේද යන්න අදටත් අබිරහසකි. 

නමුත් අවට වැසියන් කියන්නේ ඔලිවර් පවු‍ලේ සාමාජිකයින් අදටත් නිවසේ ජනෙල් තුළින් පිටත බලා සිටින ආකාරය කලින් කලට දකින්නට ලැබෙන බවය.

ඇමෙරිකානු ඉතිහාසයේ වඩාත් ප්‍රකට වූ මිනීමරුවෙක් වූ රොබට් බර්ඩෙලා ජීවත් වූ ඇක්රොන් නිවස පිහිටා ඇත්තේ ඔහායෝ ප්‍රාන්තයේ බව ‍පොතෙහි සඳහන්වන අතර එය ඇත්තකි. 

ඇන්සස් සිටිහි මස්කඩකාරයා ලෙස හැඳින්වුණු මොහු ඔහායෝ ප්‍රාන්තයේ ගතකළේ දුක්ඛිත ළමා වියක් බව කියැවේ. 

වයස අවුරුදු දහසයේදී වැඩිහිටියෙකු තමාව දූෂණය කළ බව කියන ඔහු තමා ඇක්රෝන් නිවසින් පිටවී කැන්සස් සිටි වෙත පැමිණ තමාට මුණගැසෙන මුදලට ලිංගික සේවා සපයන සියල්ලන් මරා දැමුවේ එම පලිය ගැනීමට බව කියා තිබේ.

නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති බව කියන කාටර් හවුස් නම් නිවසේ එකල ප්‍රදේශය භාර ෂෙරිෆ්වරයා පදිංචිව සිටි බවද, 1968 වසරේ ඔහු වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමෙන් පසු නිවස පාළුවට ගිය බවද සඳහන් වෙයි. 

අවට වැසියන් කියන්නේ නිවස පසුකර යන බොහෝ අවස්ථාවලදී එතුළින් විවිධ ශබ්ද ඇසෙන බවය. ඇන්ටනි සොවෙල් නම් ඝාතකයා තමා මරාදැමූ අයගේ සිරුරු සැඟ වූ බව කියන නිවස ඔහායෝ ප්‍රාන්තයේ, ක්ලීව්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටා ඇති බව සත්‍යයකි. 

මේ වනවිට එම නිවස බොහෝදුරට ගරා වැටී  තිබුණද එතැන පසුකර යන ප්‍රදේශවාසීන් නිවසට ළංවන විටම පාරේ අනෙක් පැත්තට පැන නිවස පසුවන තුරු ඒ පැත්තෙන් ගමන් කරන්නේ නිතර නිවස දෙසින් විවිධ ශබ්ද හා කටහඬවල් ඇසෙන නිසාය.

නිශානි දිසානායක 
lakbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.