Header Ads

මනෝකාය ගැන ඔබ නොදත් කතාව….


අප සිරුර තුළ යම් කිසි සියුම් ශරීරයක් ඇති බවත් මෙම ශරීරයේ ආධාරයෙන් සිරුරෙන් එළියට පැමිණ සැරි සැරිය හැකි අතර, මරණයෙන් පසු වෙන භවයක් ලබන තුරු මෙම මනෝකායෙන් සැරි සරන බවටත් නොයෙක් විශ්වාස මනුෂ්‍ය වර්ගයා තුළ තහවුරු වී ඇත.

ටිබෙට් බෞද්ධ භාවනා ක්‍රම වල මෙම සූක්‍ෂම ශරීරයේ ආධාරයෙන් සිරුරෙන් එළියට පැමිණ යම් යම් කටයුතු කර නැවත තමාගේ සිරුරටම ඇතුළුවීමට පුහුණු කරනු ලැබේ.

එසේම කිසිම පුහුණුවීමක් නොමැතිව ස්වභාවයෙන්ම මෙම මනෝකාය ආධාරයෙන් සිරුරෙන් ඉවත්වීමේ හැකියාව ඇති අයද වේ. මෙවන් හැකියාවන් ගැන රුසියන් හා බටහිර විද්‍යාඥයන් පර්යේෂණ කරති. ඇමරිකාවේ කැලිෆෝනියා සරසවියේ ආචාර්ය චාල්ස් ටාට්ද, බී. ඊ. එස්. පී. රිසච් ඇසෝෂියේෂන් ඉන් ඇකන්සාස් වැනි ආයතන මඟින්ද මේ පර්යේෂණ කරගෙන යනු ලැබේ. විශේෂයෙන් තද බල රෝග පීඩාදියකදී ද, සිහිනැතිවීමකදීද, තවත් එවන් අවස්ථා වලදී ද ඉබේම මේ සූක්‍ෂම ශරීරය ක්‍ෂණිකව ශරීරයෙන් පිටවීම සිදු විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසය.

හදිසි අනතුරු ශල්‍යකර්ම ආදියේ දී මිය ගොස් නැවත ජීවය ලැබූ රෝගීන්ගේ අත්දැකීම් ගැන තොරතුරු වලින් මැරෙන මොහොතේ සූක්‍ෂම සිරුරෙන් ඉළියට පැමිණ ඇති බව පැහැදිලිවේ. ශරීරයෙන් එළියට පැමිණ සිරුරට ඉහළින් අඩි පහක් හයක් පමණ උඩින් අහසේ පා වෙමින් සිටි අතර සිරුර ඇඳ උඩ තිබූ බවත් වෛද්‍යවරු යුහුසුලුව ප්‍රතිකාර කරද්දී නැවත ඉබේම සිරුර තුළට තමන් ඇදී ගොස් සිහිලත් බවත් හැම කෙනෙකුම වාර්තා කර ඇත.

ටිබෙට් මහායාන හිමිවරුන් තමන්ගේ කෙනෙකු මියයන මොහොතේ ඔහුගේ සූක්‍ෂම සිරුරට (මනෝකාය) ඊළඟ බවයට යාම සඳහා නිවැරදි මග පෙන්වීමට යම් යම් ආධ්‍යාත්මික ක්‍රම අනුගමනය කරනු ලැබේ. බාඩෝතෝඩල් නමින් ඒ යෝගා ක්‍රම හඳුන්වනු ලැබේ.

අප සිරුර තුළ අපේම ස්වරූපයෙන් පවතින සූක්‍ෂම ශරීරය ගැන ලොව පුරා පැතිරී ඇති අත්දැකීම් එසේ වන අතර නවීන විද්‍යාඥයන් ද අප තුළ ඇති සියුම් ශරීරයක් ගැන කරුණු එළිදරව් කිරීමද ආශ්චර්යකි.

සෝවියට් විද්‍යාඥයන්ගේ කිර්ලියන් උපකරණයෙන් ගසක කොළයක් ඡායාරූප ගත කළ විට ලැබෙන ඡායාරූපයත්, කොළය බාගයක් කපා ඉවත් කළ පසු ගත් ඡායාරූපයත් එතරම් වෙනසක් නොපෙන්නුවේය. ඡායාරූප දෙකේම සම්පූර්ණ කොළයේ මෙන්ම ශක්ති ස්රූපයක් අඩංගු වුනි. තව තවත් පර්යේෂණ කළ විද්‍යාඥයන්ට පැහැදිලි වූයේ සම්පූර්ණ කොළයේ ශක්ති පද්ධතිය කොළයේ කොටසක් කපා ඉවත් කළත් වෙනස් නොවී පවතින් බවය. අපගේ අතක් හෝ කකුලක් හෝ ශල්‍යකර්ම ආදියකින් ඉවත් කළත් ඉම කකුළ සම්පූර්ණයෙන්ම පවතින් බව මෙම ඡායාරූපයෙන් පෙන්වයි. 

තව දුරටත් මේ ගැන සියුම් ඉලෙක්ට්‍රොනික් අන්වීක්‍ෂ ආදිය ද ආධාර කරගෙන පර්යේෂන කිරීම සෝවියට් අල්මා අටාහි කසකස්ථාන කීරොව් රාජ්‍ය සරසවියේ විද්‍යාඥයන් පිරිසක් අතින් සිදුවිය.  ජීව විද්‍යාඥයින්, ජීව රසායන විද්‍යාඥයින් හා ජීව භෞතික විද්‍යාඥයින් ගෙන් සමන්විත වූ වී. ඉන්යුෂින්, වී ග්රිස්චෙන්කෝ, එන්. වොරබෝව්, එන්. ෆෙඩොරෝවා ආදී විද්‍යාඥ මඩුල්ලේ තීරණය මෙසේ විය. මිනිසා තුළත් සෑම සත්වයෙකු හා ගහ කළෙ වලටත් ඇත්තේ අනු පරමාණු වලින් සෑදුණු භෞතික ශරීරයක් පමණක් නොවේ. යම්කිසි ශක්ති විශේෂයකින් සෑදුනු තවත් ශරීරයක්, එම භෞතික ශරීරයේ ස්වරූපයට සමානව එය තුළම ඇත. 

ඔවුහු එම සූක්‍ෂම ශරීරයට බයෝ ප්ලාස්මික් ශරීරය යන නම දුන්නෝය. මෙය ඝන, ද්‍රව, වායු ආදියෙන් යුක්ත වූවක් නොවන අතර ඉලෙක්ට්‍රොන, ප්‍රොටෝන හා ප්ලාස්මා නම් ශක්ති විශේෂයෙන් සෑදුනක් බව ඔවුන්ගේ නිගමනයයි. එසේම මේ සූක්‍ෂම ශරීරය තුළින් අප විශ්වයට සම්බන්ධ වන බවත් එය අපගේ රෝගී, නිරෝගී බවට ද හේතු වන බවත් ඔවුහු පවසති. හුස්ම ගැනීම තුළින් මෙම ශක්තීන්ගෙන් සෑදී සූක්‍ෂම ශරීරය තව තවත් ප්‍රාණවත් කළ හැකි බව ද මෙම විද්‍යාඥයින්ගේ අදහසයි.

මෙතනදී අපි හින්දු හාත යෝග දර්ශනය ගැන විශේෂයෙන් සිපත් කළ යුතු වෙමු. ප්‍රාණයාමය හෙවත් හුස්ම ගැනීමේ යෝගී ක්‍රම මගින් සම්පූර්ණ නිරෝගී බවත් සදාකාලික තරුණ බවත් ලැබිය හැකි වන අතර එම ප්‍රාණයාම අභ්‍යාස ක්‍රම මගින් අප තුළ සැගවී ඇති කුණ්ඩාලිනී නම් ශක්තියක් අවධි කිරීමටද හැකි බව ඉගැන්වේ.

අපගේ සිතුවිලි ආවේග, වෙන අයගෙන් අප කරා එන චිත්ත ශක්තිය, කිරණ, ශබ්දය, ආලෝකය, වර්ණ, චුම්භක පද්ධති ආදී කී නොකී සෑම ශක්ති කිරණ තරංගයත්, අපගේ පයට පෑගෙන තණ කොළ ගසේ සිට ඈත එපිට ග්‍රහලෝක දක්වා ඇතිවෙන සියලු ශක්ති කිරණ තරංග විපර්යාසත් අපට නොදැනීම මේ සූක්‍ෂම ශරීරය තුළින් අපට බලපෑම් ඇති කරන බව මෙම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අපගේ සිත හා මේ සූක්‍ෂම ශරීරය අතර සම්බන්ධය ඉතා ප්‍රබල වේ. මෙම මනෝ කායෙන් ශරීරයෙන් එළියට ආ සෑම මෙහොතකම ශරීරය මළ සිරුරක් සේ පැවති අතර සිත එම සූක්‍ෂම ශරීරය සමග වූ බව පැහැදිලිය. සිත කෙලින්ම මොලයට බල නොපාන බවත් සූක්‍ෂම ශරීරය තුළින් සිත මොළය ඇතුළු ශරීරයට සම්බන්ධ වන බවත් ජෙරල්ඩින් කමින්ස් නැමති අධිමානසික දැනීම් ඇති කාන්තාවගේ අදහසය. අනාගතයේදී මෙම සූක්‍ෂම සිත හා ගත පිළිබඳ සම්බන්ධතාව සොයා ගන්නා විද්‍යාත්මක උපකරණ නිපදවනු ඇතැයි ඇය 1930දී පවසා ඇත.

මනෝකාය සිරුරෙන් ඉළියට පැමිණීම ගැන පර්යේෂණ බටහිර රටවල කෙරෙන අතර එසේ එළියට පැමිණීමේ ක්‍රම ද පුහුණු කරනු ලැබේ. මරණින් මතු අන්තරාභවයක රැඳීම මෙම පර්යේෂණ අනුව සිදුවිය හැක්කක් බව පෙනෙන අතර සිත, මොළයේ අතුරු ඵලයක් නොවන අතර එය භවයෙන් භවයට යන සුවිශේෂ ශක්ති විශේෂයක් බව මේ තොරතුරු වලින් පැහැදිලි වේ.

සිත සිරුර තුළ රැඳී පවතින තුරු මොළයේ ක්‍රියාකාරීත්වයට නිබඳවම බැඳී සිටින බව ද පැහැදිලි කරුණකි. සිත, ශක්තියක් සේ සත්වයින් තුළ ක්‍රියාකාරී වන්නේ සිරුර තුළින් වන අතර එම සිරුර පාලනය කරන කොම්පියුටරය මොළය වේ. මෙම කොම්පියුටරය ක්‍රියා විරහිත වූ විට ශරීරයේ ක්‍රියාකාරීත්වය ද නැවතී සිත සූක්‍ෂම ශරීරය සමග ශරීරයෙන් ඉවත් විය යුතුවේ. මොළය වෙනුවට හෘදය, වකුගඩු, අක්මා, ආදී කවර හෝ ප්‍රධාන ඉන්ද්‍රියක් ක්‍රියා නොකළ හැකි තත්වයට පත්වූ විට ද සිදුවන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වය නැවතී සිත සූක්‍ෂම ශරීරය සමග සිරුරෙන් ඉවත්වීමය. එවන් අවස්ථාවල මියගිය තත්වයට පත් වූවන් වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර වලින් ඉන්ද්‍රිය යථා තත්වයට පත් වූ මෙහොතේ සූක්‍ෂම ශරීරය නැවත සිරුර තුළට ඇතුලු වීමෙන් ප්‍රාණය ලැබූ බව දොස්තර රේමන්ඞ් මූඩි ආදීන්ගේ පර්යේෂණ වලින් පෙනෙන හෙයින් ‘පණ‘ ලැබීම හා සිත අතර සම්බන්ධය ඉතා වැදගත් බවද පැහැදිලි වේ. මේ සූක්‍ෂම ශරීරය පිළබඳ සියලු වාර්තා පෙන්වන්නේ සිත සමග එහි ඇති නියත සම්බන්ධයකි. එහෙයින් මෙම මනෝකාය හෙවත් “බයෝ ප්ලාස්මීය ශක්ති ශරීරය“ පිළිබඳව විද්‍යාඥයින් ඉදිරියේදීත්” තව දුරටත් වටහා ගන්නා තරම අනුව අපට සිත” කර්මය” මරණය හා නැවත ඉපදීම ගැන ද බොහෝ දේ වටහා ගැනීමට ලැබෙනු ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.