Header Ads

බිරිඳගේ පිරිමි ගති ඇතැයි කියා බීමට ඇබ්බැහි වූ සැමියා

සුභානි ප්‍රදේශයේ ජනප්‍රියතම පාසලක ක්‍රීඩා විෂය භාර ගුරුවරියකි. මුලදී ගණිත ගුරු පත්වීමක් ලැබ සේවයට බැඳුණු සුභානිට පසුව විදුහ‍ලේ ක්‍රීඩා විෂය භාර වූයේ ඇය තුළ වූ ක්‍රීඩා සම්බන්ධ දක්ෂතාවය සහ ක්‍රියාශීලීත්වය මුල් කර ගනිමිනි. 

ඇගේ එම උනන්දුව, උත්සාහය, කැපවීම නිසාම ඇය එම තනතුරට පත්ව කෙටි කලකින් එම පාස‍ලේ දරුවෝ මාණ්ඩලික සහ පළාත් මට්ටමේ ක්‍රීඩා තරගවලින් ජය වාර්තා කිරීමට සමත් වූහ. 

සුභානිගේ මෙම ජනප්‍රියත්වය නිසාම ඇය නගරයේ පවත්වාගෙන ගිය අධ්‍යයන ‍පොදු සහතික සාමාන්‍ය පෙළ ගණිත පන්තියද බෙහෙවින් සාර්ථක විය. ඇගේ පන්තියට සහභාගී වන දරුවන් එම විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබිම ඊට හේතු විය. 

මේ නිසාම සුභානිගේ ආදායම් තත්ත්වයද ඉහළ යන්නට වූ බැවින් කලක සිටම භාවිත කළ මෝටර් සයිකලයට අමතරව හයිබ්‍රිඩ් මෝටර් රථයක් මිලට ගැනීමටද සුභානි සමත් වූවාය. නමුත් ඒ සමගම ඇගේ ජීවිතයේ එක්තරා අඳුරු පැත්තක්ද තිබිණ. එනම් සුභානිගේ සැමියා අසීමාන්තික ලෙස බිමත්කමට ඇබ්බැහි වී සිටීමය. 

කලින් හමුදා සේවයේ යෙදී සිට පසුව ඉදිකිරීම් සමාගමක සේවයට බැඳුණු ඔහු මදින් මඳ ගෘහ ජීවිතයේ කටයුතු කෙරෙහි පසුබාන බවක් සුභානිට වැටහුණි. එමෙන්ම ඔහු තමන් කෙරෙහි පමණක් නොව තම පස් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පුතනුවන් කෙරෙහි දක්වන ආදරය පවා කමෛන් අඩු කරන බවක් සුභානි වටහා ගත්තාය.

එමෙන්ම පසුකාලීනව සුභානි පිළිබඳව කතා කළ බොහෝ දෙනකු ඇගේ සැමියාගේ බිමත්කම පිළිබඳවද කතා කරන්නට වූ අතර එය ඇය විසින් ගොඩනගා ගනිමින් තිබූ හොඳ නම, කීර්තිය සැලකිය යුතු අයුරින් පහත හෙළන්නක් විය. 

එමෙන්ම බිමත්ව සිහිවිකල් වූ පසු ඇගේ සැමියා විසින් ඇතැමුන් හා පැවැසූ වදන් ද එම ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට වූයේ සුභානි ඒ වනවිට ලබා තිබූ ජනප්‍රියත්වය ද පදනම් කරගනිමිනි.

“ඒ මතුපිටින් ගෑනියෙක් වුණාට ඇතුළතින් මිනිහෙක්; ගෙදරදී වුණත් පිරිමි කරන වැඩම කරන්න තමයි ඒ ගෑනි බලන්නේ; කොටින්ම මට ඒ ගෑනි ඉස්සරහ කරන්න මෙලෝ  දෙයක් නෑ; මට කොහොමත් මේ විදිහට පඹයෙක් රූකඩයෙක් වගේ ජීවත් වෙලා වැඩක් නැහැ මීට වඩා හොඳයි මැරෙන එක.

ජනප්‍රිය පුද්ගලයන් සම්බන්ධ කටකතා රොද බැඳ පැතිරෙන්නේය යන නියාමය මත සුභානිගේ පාස‍ලේත් උපකාරක පන්තියේත් සිසු සිසුවියන්ගේ මව්වරුන් අතර විවිධ අර්ථ නිරූපණවලින් යුතුව මෙම කතා ශීඝ්‍රයෙන් පැතිර යන්නට විය.

ඒ අතරින් වඩාත් ප්‍රචලිත කටකතාව වූයේ සුභානි ලිංගික වශයෙන් තම සැමියා නතු කරගෙන ඔහුට බලහත්කාරකම් කිරීමට යන බවකි. ඇගේ අතිශය ක්‍රියාශීලී හැසිරීම් රටාවද මෙම කතා සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවිය.

“පේන්නේ නැද්ද සුභානි ටීචර්ගේ හැටි; පුදුම විසයක් තමයි ටීචර්ට තියෙන්නේ. ඉතින් ඒ වගේ විසේකාර ගෑනියෙක් එක්ක ඉන්නකොට ඒ මනුස්සයට සංසාරේ එපාවෙන එක පුදුමයක්ද?”

පසුව සුභානිගේ සිසු සිසුවියන්ගේ මව්වරුන් අතරේ පැතිර ගිය එම කතාව ඇගේ ආත්ම ගෞරවයට මරු පහරක් විණි. එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිත් පීඩාවට පත් එක් දරුවකුගේ මවක මෙම පුවත සුභානිට සැල කරන ලද්දේ නිහඬව සිටීමට බැරිම තැනය.

කෙසේ හෝ මෙම පුවතින් මහත්සේ කිපුණු සුභානි ඒ පිළිබඳව සිය සැමියාගෙන් විමසා සිටියාය. එවිට ඔහු කීයේ සුභානි විසින් නිවසේ ගෘහ මූලිකයාගේ සේම සැමියාගේ තැන ගැනීම නිසා තමන්ට ජීවිතය එපාවී ඇති බවය. 

පසුව සුභානි සහ පවු‍ලේ ඥාතීන් විසින් ඔහු රජයේ ප්‍රධාන රෝහලක මානසික සෞඛ්‍ය සායනයකට යොමු කරන ලදී. එහිදී ඔහු කළ ප්‍රකාශය මගින් මූලිකව අනාවරණය වූයේ ඔහු එම යුග ජීවිතයට සමායෝග වීමේ හෙවත් හැඩගැසීමේ ගැටලුවකට (Adjustment Problem) මුහුණ පා හිඳින බවය.

එහෙත් එවැනි තත්ත්වයක දී ඊට අදාළ පරිසරයේ දී පමණක් දැඩි අපහසුවකට අසීරුතාවයකට පත්වන ඒ තැනැත්තා ඒ පරිසරයෙන් අත්මිදුණු විට යථා තත්ත්වයට පත්වෙයි. ඒ අනුව මෙම සැමියාගෙන් සහ ඔහුගේ පවු‍ලේ ඥාතීන්ගෙන් ඒ තැනැත්තාගේ සමාජගත ජීවිතය පිළිබඳවද විමසන ලදී. 

එවිට ඔවුන් කියා සිටියේ අතීතයේ ඔහුට යහපත් සමාජ සබඳතාවයක් තිබූ අතර දැන් අඩුම තරමින් සමීප මිතුරකුවත් නොමැති බවකි. එසේම ඔහුගේ වැඩිමල් සොයුරකු ද තරුණ වියේ දීම දිවි නසාගෙන ඇති බවද එහිදී අනාවරණය විය.

ඒ අනුව වැඩිදුරටත් කරනු විමසුම්වලදී පෙනී යන ලද්දේ සුභානි සම්බන්ධයෙන් ඔහු පවසන කරුණුවල පැහැදිලිව පෙනෙන ඇත්තක් තිබෙන බවය. 

බිරිඳ තුළ පවත්නා එවන් ක්‍රියාශීලී තත්ත්වයන් නොරුස්සන ඇතැම් සැමියෝ හොඳින් හෝ නරකින් ඇය මට්ටු කිරීමට ගොස් වැඩ වරද්දා ගනිති. එහෙත් මොහු ඒ වෙනුවට සිදුකොට ඇත්තේ එම අසහනකාරී තත්ත්වය මුල් කොට එය පිටු දැකීම පිණිස මත්පැන් පානයට යොමුවීමටය. 

ඒ අනුව මොහු පවත්නා තත්ත්වයට අනුවර්තනය වීමට ඇති නොහැකියාව නිසා හෝ වෙනත් කායික හෝ මානසික තත්ත්වයන් මත විශාද රෝගයට (depression)  පත්ව ඇති බව අනාවරණය විය.  

මුලදී තමන් තුළ ඇති වූ නිශේධනාත්මක ප්‍රතියන්තය (Negative Reinfor cement) මත මත්පැනට ලොල් වූ ඔහු පසුව කමෛන් මදිරාබාධය (Alcohol addiction) නම් රෝග තත්ත්වය වෙත ළඟාවෙමින් පවතින බව අනාවරණය විය. 

ඒ අනුව පළමුව එම රෝග තත්ත්වයන් සඳහා ඖෂධීය ප්‍රතිකාරත් පසුව ඔහු තුළ ඇති වූ මනෝ අර්බුදය සඳහා ඥානක චිකිත්සක ක්‍රම (cogitive therapy) භාවිත කරන ලද අතර ඔහුගේ බිරිඳ කැඳවා ඊට අදාළ උපදේශන ලබා දීම සිදු කෙරිණ. 

ඉන්පසු එම ඖෂධ, මනෝ චිකිත්සක ප්‍රතිකාර සේම උපදේශන සේවාද යොදා ගනමින් අසාර්ථක වී බිඳ වැටීමට ආසන්න වී තිබූ එම යුවළගේ යුගදිවිය සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකිවිය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන්
(M.B.B.S.) M.D.Psy
lakbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.