Header Ads

මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට දේශපාලන හිතෛෂීන්.


මුළු ජාතියටම බලපාන තීරණ ගන්නා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස දේශපාලන හිතෛෂීන් පත් කරන බවත් එලෙස පත්වෙන සමහර සාමාජිකයන් න්‍යාය පත‍්‍රය ගැනවත් කිසිවක් දන්නේ නැති බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලයට සාමාජිකයන් පත් කීරීමේදී විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් තාක්‍ෂණික විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතු බවත් බැඳුම්කර කොමිසම හමුවේ විශේෂඥ සාක්කියක් දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පැවසීය.

බැඳුම්කර වෙන්දේසියේදී ක්‍ෂණිකව සිදුවූ පාඩුව මා සඳහන් කළත් මෙම සිද්ධියෙන් ජාතික වශයෙන් සිදුවූ පාඩුව මෙතෙක් ගණනය කර නැතැයි බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දෙමින් පැවසූ ආචාර්ය විජේවර්ධන මහතා ශ‍්‍රී ලංකා මහා බැංකුව පාලනය කරන්නේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනකු විසින් බවත් මෙම බැඳුම්කර සිද්ධිය නිසා ශ‍්‍රී ලංකා මහා බැංකුවත් ඊට සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වකරුවනුත් විශාල අපකීර්තියකට පත් වූ බවත් මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට සුදුසුකම් ලත්, උගත් දැනුමැති පුද්ගලයන් පත් කළ යුතු බවත් කීවේය.

ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය වැනි රටවල මහා බැංකුවට අධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා උපදේශක තේරීම් කමිටුවක් ඇතැයි ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ. 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත්කර ඇත.

කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේමෙහෙයවීම යටතේ බැඳුම්කර කොමිසම හමුවේ දෙවැනි දිනයටත් සාක්කි දුන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා මෙසේද පැවසීය.

ප‍්‍ර: 2015 මාර්තු මස 10 වැනිදා බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණාද?

පිළිතුර: ඔව්.

ප‍්‍ර. එම බැඳුම්කර වෙන්දේසියේදී ලංසු ප‍්‍රතික්ෂේප කිරීමක් සිදුවුණාද?

පිළි. ඔව්.

ප‍්‍ර. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

පිළි. මේ වනවිට සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය නවතා දමා තිබුණා. එවැනි තත්වයක් තුළ මෙහි වරදක් මා දකින්නේ නැහැ.

ප‍්‍ර. 2016 මාර්තු මස 29 වැනිදා බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණාද?

පිළි. ඔව්.

ප‍්‍ර. එම බැඳුම්කර වෙන්දේසියේදී රජයේ මුදල් අවශ්‍යතාව කොපමණ ද?

පිළි. රුපියල් බිලියන 105යි.

ප‍්‍ර. එම බැඳුම්කර වෙන්දේසියේදී කොපමණ බැඳුම්කර ප‍්‍රමාණයක් ඉදිරිපත් වුණාද? කොපමණ ලංසු ප‍්‍රමාණයක් බාරගත්තාද?

පිළි. රුපියල් බිලියන 40ක බැඳුම්කර ප‍්‍රමාණයක් ඉදිරිපත් වුණා. රුපියල් බිලියන 77ක ලංසු ප‍්‍රමාණයක් පිළිගත්තා.

ප‍්‍ර. මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළි. මේ අවස්ථාවේදී වෙනත් තේරීමක් තිබී නැහැ. ඒ නිසා ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගෙන් ඉහළ පොලී අනුපාතවලින් මුදල් ලබා ගත්තා. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වන්නේ ප‍්‍රාථමික බැඳුම්කර වෙළෙඳ පොළේ සියයට 55ක ඒකාධිකාරී ආධිපත්‍යයක් එක් ප‍්‍රාථමික ගැණුම්කරුවකුට අත්වී ඇති බවයි. මෙවැනි තත්වයක් යටතේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට අඩුම පිරිවැයක් යටතේ ණය ලබාගැනීමේ හැකියාවක් නැහැ.

ප‍්‍ර. මේ ආකාරයට එක් විශේෂිත ප‍්‍රාථමික ගැනුම්කරුවකු වෙළෙඳ පොළේ ඒකාධිකාරීආධිපත්‍යයක් අත්කර ගත් විට ඇතිවන තත්වය කුමක්ද?

පිළි. එක් විශේෂිත ප‍්‍රාථමික ගැනුම්කරුවකු වෙළෙඳ පොළේ ඒකාධිකාරී ආධිපත්‍යයක් අත්කර ගත්විට ඵලදායිතා වක‍්‍රය ඉහළ යෑම  දකින්නට පුළුවන්. එය විශේෂ ලක්‍ෂණයක්.

ප‍්‍ර. 2016 මාර්තු මස 29 වැනිදා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියේ සිදු වූ පාඩුවකොපමණද?

පිළි. තොරතුරු නොමැතිව මට එය ගණනය කරන්න බැහැ.

ප‍්‍ර. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශීලතා ණය ගෙවීම පැහැර හැරීම ගැනඔබගේ අදහස කුමක්ද?

පිළි. සාමාන්‍යයෙන් ප‍්‍රාථමික ගැනුම්කරුවකු රෙගුලාසියක් කඩ කළවිට ශ‍්‍රී ලංකා මහ බැංකුව අවවාද කිරීමේ ලිපියක් නිකුත් කරනවා. දඩයකුත් නියම කරනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව අවවාද අනුව කටයුතු නොකොළොත් අවසානයේදී එක් දින ද්‍රවශීලතා ණය දීම නවතනවා. ඒ හැර එක්වරම ප‍්‍රාථමික ගැනුම්කරුවකුගේ බලපත‍්‍රය අහෝසි කරන්නේ නැහැ. ශ‍්‍රී ලංකා මහා බැංකුව ප‍්‍රාථමික ගැණුම්කරුවන් බලාගන්නේ හරියටම තාත්තා දරුවන් බලාගන්නවා වාගේයි.

ප‍්‍ර. මෙම සිද්ධියට සම්බන්ධිත බැඳුම්කර වෙන්දේසියේදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනාවන අර්ජුන් ඇලෝසියස් මහතා එක් ප‍්‍රාථමික ගැනුම්කරුවකු වන පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළා නේද?

පිළි. ඔව්.

ප‍්‍ර. මෙම අභිලාෂයන්ගේ ඝට්ටනය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

පිළි. මෙවැනි තත්ත්වයකදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටයුතු කළයුතු ආකාර දෙකක් තිබුණා. පළමු ආකාරය මූල්‍ය මණඩලය දැනුවත් කිරීම. දෙවැනි ආකාරය තීරණ ගැනීමේ ක‍්‍රියාවලියෙන් අදාළ සම්බන්ධතා තියෙන ආයතනය හෝ පුද්ගලයා සම්බන්ධ කර නොගෙන සිටීම.

ප‍්‍ර. මීට පෙර මෙවැනි තත්වයන් ඇතිවී තිබුණද?

පිළි. ඔව්. සුනිල් මෙන්ඩිස් මහතා ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙවැනි තත්වයන් ඇතිවුණා ඔහු ඒ පිළිඳව මුල්‍ය මණ්ඩලය දැනුවත් කළා.

ප‍්‍ර. එලෙස කටයුතු නොකොළහොත් ඇතිවන තත්වය කුමක්ද?

පිළි. පක්‍ෂග‍්‍රාහී තත්වයක් ඇති වෙනවා.

ප‍්‍ර. අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් වූ වහාම අර්ජුන් ඇලෝසියස් මහතා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂධුරයෙන් ඉවත් වුණා නේද?

පිළි. එය ප‍්‍රමාණවත් පියවරක් නොවේ.

ප‍්‍ර. ඔබ අර්ථසාධක අරමුදල භාර අධිකාරීවරයා ලෙස කටයුතු කළා නේද?
පිළි. ඔව්. අර්ථසාධක අරමුදල පාලනය කිරීම ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යයක්. අර්ථසාධක අරමුදලේ මුදල් නිවැරදි ලෙස ආයෝජනය කිරීම ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ වගකීමක්. මූල්‍ය මණ්ඩලය එය කරන්නේ අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව හරහායි. අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කීරීම තීරණය කරන්නේ ආයෝජන කමිටුව විසින්.

ප‍්‍ර. අර්ථසාධක අරමුදලේ විශාල මුදලක් තියෙනවා නේද?

පිළි. ඔව්. අර්ථසාධක අරමුදලේ විශාල මුදලක් තියෙනවා. මෙම මුදල් නිසි ආකාරයට ආයෝජනය කළ යුතුයි.

ප‍්‍ර. අර්ථසාධක අරමුදලට ප‍්‍රාථමික වෙළෙඳ පොළේ කටයුතු කළ හැකිද?

පිළි. අර්ථසාධක අරමුදලට ප‍්‍රාථමික වෙළෙඳ පොළේ කටයුතු කිරීමට 1999 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුව අවසර දුන්නා. අර්ථසාධක අරමුදල් පාලනය කිරීමට ශ‍්‍රී ලංකා සම්මත ගණකාධිකරණ රීතීන් අනුගමනය කරනවා.

ප‍්‍ර. අර්ථසාධක අරමුදලට ප‍්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළ හැකිද?

පිළි. අර්ථසාධක අරමුදල සියලූ ප‍්‍රතිව්‍යුහගත කිරීම් සිදු කළ යුත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්වයි. අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණය කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ආයෝජන කමිටුව විසිනුයි.

ප‍්‍ර. අර්ථසාධක අරමුදල පාලනය වන්නේ කෙලෙසකද?

පිළි. 1951 අර්ථසාධක අරමුදල් පනතේ නීතී රීතී අනුවයි. ඒ අනුව අර්ථසාධක අරමුදලට පාඩුවන ආකාරයට කටයුතු කළ නොහැකියි. රජය ණය ලබාගත යුත්තේ අර්ථසාධක අරමුදලට පාඩු නොවන ආකාරයටයි.

ප‍්‍ර. අර්ථසාධක අරමුදලට පාඩු නොවන ආකාරයට කටයුතු කිරීමට සොයා බලනවාද?

පිළි. ඔව්. සාමාන්‍යයෙන් අර්ථසාධක අරමුදල ලංසු තැබීමේදී ඒ පිළිබඳව ආයෝජන කමිටුව විසින් සොයා බැලීම් කළ යුතුයි. මෙය කළ යුත්තේ පාඩුව අවම වන ආකාරයටයි. මේ පිළිබඳව මූල්‍ය මණ්ඩලයද සොයා බැලිය යුතුයි.

ප‍්‍ර. මේ පිළිබඳව මූල්‍ය මණ්ඩලය ද සොයා බැලිය යුතු හේතුව කුමක්ද?
පිළි. අවසානයේදී සියලූදේටම වගකිව යුත්තේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලය නිසා.

ප‍්‍ර. 2015–2016 වසර වකවානුව තුළ ප‍්‍රාථමික ගැනුම්කරුවකු ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සුවිශේෂී ලාභයක් ලබාගෙන තියෙනවා නේද?

පිළි. ඔව්

ප‍්‍ර. එලෙස සුවිශේෂී ලාභයක් ලබා ගැනීම ඔබ දකින්නේ කොහොමද?

පිළි. විශාල ලාභයක් ලබා ගැනීමට බලපාන කරුණ වන්නේ විශාල සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීමයි. එලෙස විශාල සම්බන්ධතා ජාලයක් ගොඩනඟා ගැනීම මඟින් ආකර්ෂණය පොළි අනුපාතයක් යටතේ විශාල බැඳුම්කර ප‍්‍රමාණයක් මිලදී ගැනීමයි.

ප‍්‍ර. 2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වූ බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු පාඩුව පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළි. මෙම වෙන්දේයේදී ක්‍ෂණිකව සිදුවූ පාඩුව පිළිබඳව ඊයේ මා කරුණු ඉදිරිපත් කළා. මාගේ ගණනය කිරීම් අනුව මීට වඩා පාඩුවක් සිදුවිය හැකියි. මෙම සිද්ධියෙන් ජාතික වශයෙන් සිදුවූ පාඩුව මෙතෙක් ගණනය කර නැහැ. මෙවැනි දෙයක් සිදුවු විට ඵලදායිතා වක‍්‍රයේ ඉහළ යෑම පැහැදිලිවම දකින්නට පුළුවන්.

ප‍්‍ර. අවසාන වශයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබගේ නීරීක්‍ෂණයන් කොමිසමටදැනුම් දෙන්න පුළුවන්ද?

පිළි. මෙවැනි සිද්ධියක් හේතුවෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවත් ඊට සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වකරුවනුත් විශාල අපකීර්තියකට පත්වෙනවා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව පාලනය කරන්නේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනකු විසිනුයි. මේ සියලූ තීරණ ගන්නේ ඔවුන් විසිනුයි. මෙවැනි තත්වයන් වළක්වා ගැනීමට නම් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයට සුදුසුකම් ලත්, උගත් දැනුමැති පුද්ගලයන් පත් කළ යුතුයි. අප රටේ ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරනු ලබන්නේ දේශපාලන හිතෛෂීනුයි. ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයට සාමාජිකයන් පත් කීරීමේදී විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ඇමරිකාව, ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ප‍්‍රංශය වැනි රටවල මහා බැංකුවට අධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා උපදේශක තේරීම් කමිටුවක් තියෙනවා. එම උපදේශක තේරීම් කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි මහ බැංකු අධිපතිවරයා තෝරා ගන්නේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා එම තනතුරින් ඉවත්ව යෑමට වසර දෙකක කාලයකට කලිනුයි. ඉන්දියාවේ පවා තියෙන්නේ මෙවැනි ක‍්‍රමවේදයක්. ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් තාක්‍ෂණික විශේෂඥයන්ගෙන් සමන්විත විය යුතුයි. මොකද මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ගන්නා තීරණ මුළු ජාතියටම බලපානවා. මාගේ අත්දැකීම් අනුව මූල්‍ය මණඩලයේ සමහර සාමාජිකයින් න්‍යාය පත‍්‍රය ගැනවත් කිසිවක් දන්නේ නැහැ. මේ තත්ත්වය නිසා එක් මූල්‍ය මණ්ඩල රැස්වීමකදී කියන කරුණු ඊළඟ රැස්වීමේදීත් යළි විස්තර කරන්න මට සිදුවී තියෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා මෙසේද පැවසීය. මෙම කොමිසමේ සඳහන් වූ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ වෙන්දේසි ක‍්‍රමවේදයේදී හා සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදයේ හොඳ නොහොඳ බව. මේ ක‍්‍රම දෙකේම හොඳ සහ නරක මා දකිනවා.

ප‍්‍ර. මෙම ක‍්‍රම දෙකෙන් ඔබ අනුමත කරන්නේ කුමන ක‍්‍රමයද?

පිළි. මා අනුමත කරන්නේ මෙම ක‍්‍රම දෙකම එකතු කර නිර්මාණය කරන දෙබිඩි ක‍්‍රමයටයි.

ප‍්‍ර. ඔබ මහ බැංකුවේ සේවය කරන සමයේදී අනුගමනය කළේ කුමන ක‍්‍රමවේදයද?

පිළි. සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයයි.

ප‍්‍ර. සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු බව ද ඔබගේ අදහස?

පිළි. සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතු වන්නේ නැහැ. අවශ්‍ය විටෙක එය භාවිත කළ යුතුයි.

ප‍්‍ර. බැදුම්කර වෙන්දේසිවලදී ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන ක‍්‍රමවේදය කුමක්ද?

පිළි. සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයයි.

ප‍්‍ර. ඔබ කුමන ආර්ථික විද්‍යා ගුරුකුලයට අයත් කෙනෙක්ද?

පිළි. මා කිසිදු ආර්ථික විද්‍යා ගුරුකුලයකට අයත් කෙනෙක් නොවේ.

ප‍්‍ර. එහෙනම් ඔබ අනුගමනය කරන්නේ කුමන ආර්ථික විද්‍යා ක‍්‍රමවේදයක්ද?

පිළි. මා අනුගමනය කරන්නේ මාගේම ආර්ථික විද්‍යා ක‍්‍රමවේදයක්. වැඩිදුර සාක්කි විමසීම කල් තබන ලදී. මෙම කොමිසමේ කටයුතු සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා සහය ලබා දෙයි. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන් නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.