Header Ads

බන්දුගේ නඩුවෙන් පසු බින්දුගේ ඉල්ලුම බින්දුවටම වැටිලා

බින්දු බෝත‍ලේගම රටම හඳුනන නළුවෙක් වුණේ කෙටි කාලයක් තුළදී. ඊට ප්‍රබල වූ හේතුවක් වුණේ බින්දු තුළ වූ පෙනුම. ප්‍රවීණ හාසේ‍යාත්පාදක රංගන ශිල්පියෙකු වන බන්දු සමරසිංහගේ පෙනුම බින්දුට ඒ විදියටම පිහිටලා තිබුණා. 

ඒ හින්දම බින්දුට හාසේ‍යාත්පාදක රංගනය තුළ යම් ගමනක් යන්නට පහසු වුණා. ඒත් අද වන විට ඒ හේතුවම කිසියම් නීතිමය ප්‍රශ්නයක් දක්වා දුර දිග ගිහින්. ඒ හින්දම අද තමාගේ කලා ජීවිතයට යම් බාධා එල්ලවී ඇති බව බින්දු පවසනවා. ඒ ගැන බින්දුත් එක්ක වැඩිදුර විස්තර කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ.

මොනවාද බින්දුගේ කලා ජීවිතේ අලුත්ම තොරතුරු?
මේ දවස්වල කලා ජීවිතේ නම් කිසිම අලුත් තොරතුරක් නැහැ. චිත්‍රපට, ටෙලිනාට්‍ය හෝ ඩීවීඩී චිත්‍රපට සඳහා ළඟදී කිසිම ඇරයුමක් ලැබුණේ නැහැ.

ඇයි ඒ?
බන්දු සමරසිංහ මහතා මට එරෙහිව දාපු නඩුවක් විභාගවන නිසා මාව නිර්මාණවලට දායක කරගන්න අධ්‍යක්ෂවරු බයයි.

නීතිමය ප්‍රශ්නවලට මුහුණ දීපු කලාකරුවන් කලා නිර්මාණවලට දායක වනවානේ?
ඒත් මගේ නඩු වාරවලදී මාව නිර්මාණවලට දායක කරගත්තු අධ්‍යක්ෂවරු කිහිපදෙනෙකුටම උසාවි එන්න සිදුවුණා. ඒ නිසා මාව නිර්මාණවලට දායක කරගන්න එක තමන්ට අනවශ්‍ය ප්‍රශ්නයක් වේවි කියලා ඒ අය හිතනවා. අලුත් නිර්මාණයකට මගේ නම යෝජනා වුණත් එයාව ගත්තොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා වෙනත් අය ඒ නිර්මාණවල අධ්‍යක්ෂවරුන්ට කියනවා. එතකොට මාව ගන්න සූදානම් වන අය පවා මාව ගන්නේ නැහැ. ඒ හින්දා තමයි මට දැන් වැඩ නැතුව ඉන්න වෙලා තියෙන්නේ.

එතකොට බින්දුගෙ ඉදිරි ජීවිතය ගැන මොනවාද තියෙන සැලසුම්?
ඉස්සර මම මේසන් බාස්ලට අත්උදව් දුන්නා. ඊටපස්සෙ තමයි රඟපාන්න ආවේ. දැන් ආයෙම ගමට ගිහින් මොකක් හෝ ජීවන මාර්ගයක් සොයාගන්න ඕනෑ. නැතුව ඉතින් කන්නෙ බොන්නෙ කොහොමද?

බින්දුගේ හිතේ තියෙන්නේ දුකක්ද තරහක්ද?
මගෙ හිතේ කිසිම කෙනෙක් ගැන තරහවක්වත් දුකක්වත් නැහැ. එන විදියට ජීවිතයට මුහුණ දෙනවා.

නළුකමට එකතු වුණේ පුංචි කාලෙ ඉඳන් හිතේ තිබුණු බලා‍පොරොත්තුවක් නිසාද?
කලාවට හැමදාම ආශා කළා. ඒත් මේ හැමදේම සිදුවුණේ අහම්බෙන් වගේ.

ඒ කිව්වෙ?
බන්දු සමරසිංහ මහත්තයගෙ හැඩරුව ඉරියව් මට උපතින් ලැබුණා මිස මම හිතාමතා ඇති කරගත්තු ඒවා ‍නෙවෙයි. මගෙ දතක දිරීමක් තිබිලා වයස 22 විතර ඒ දත ගලවන්න වුණා. 
ඔය කා‍ලේ හැමෝම මට විහිළු කළා මම බන්දු මහත්තයා වගේ කියලා. මගෙ විහිළු තහළුවලට ඉරියව්වලට අනිත් අය විනෝද වුණා. මගේ ගම ඇඹිලිපිටිය. 
ගම් පළාතේ විවිධ උත්සවවලට මාව ඉදිරිපත් කළා. පළාතේ මට පුංචි ජනප්‍රියත්වයක් ලැබුණා. ඔය අතරේ මහරගම කලායතනයක් ගැන පත්තරේ දැන්වීමක් දැකලා අම්මා මාව ඒකට යොමු කළා. 
මාව කලාවෙන් ඉදිරියට යනවා දකින්න අම්මාට ආශා හිතෙන්න ඇති. ඉතින් ඔය කලායතනයට ආවට පස්සේ ඒකෙ තිබුණු සංදර්ශනයක ටිකට් විකුණන්න මම ගියා. 
මම මහරගම නගරයේ ටිකට් විකුණමින් ඉන්න අතරේ චිත්‍රපට නළු චතුර පෙරේරා මහත්තයා මාව දැකලා කතා කරලා “අන්දුන් කුන්දුන්” චිත්‍රපටයට මාව යොමු කළා. එතැනින් තමයි මගෙ රංගනය පටන් ගත්තේ. ඔය හැමදේම ඉබේම සිදුවූ දේවල් මිසක් මම සැලසුමකට අනුව කරපු දේවල් ‍නෙවෙයි.

බින්දු මේ වන විට දායක වෙලා තියෙන නිර්මාණ ගැන කතා කළොත්?
චිත්‍රපට 5ක රඟපාලා තියෙනවා. ඩී.වී.ඩී. චිත්‍රපට 40ක් විතර කරලා තියෙනවා. ටෙලිනාට්‍ය තුනකට සම්බන්ධ වුණා.

ඉදිරියේදී සම්පූර්ණයෙන්ම කලාවෙන් දුරස් වෙන්නද හිතාගෙන ඉන්නේ?
නැහැ. කලාවෙන් දුරස්වෙන්න කොහොමටත් අදහසක් නැහැ. දැනට වුණත් මට නිර්මාණයන්ට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා. 
මම වරදක් කරලා නැහැ. මම කාගෙවත් නිර්මාණයන් කොපි කරලා නැහැ. මට උපතින් ලැබුණ පෙනුම ඉරියව් තුළින් මගෙ රඟපෑම කරනවා. ඒ හැම එකක්ම අලුත් චිත්‍රපට මිසක් කාගෙවත් නිර්මාණයක කොපි නොවෙයි. ඉදිරියේදී මේ හැම ප්‍රශ්නයක්ම විසඳිලා ආයෙමත් සුබ කාලයක් එයි. එතකන් මේ විදියට ඉන්නවා.

ආරියවංශ කුලතිලක
lakbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.