Header Ads

දේදුන්නේ පාට රැගත් ලෝකයේ අපූරු විල්


බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළට ආසන්නයෙන් පිහිටා ඇති හිලියර් විල (Hillier lake) අසාමාන්‍ය රෝස පැහැයකින් ඈත අහසට දර්ශනය වන අලංකාර විලකි. 







අධික ලුණු සහිත විලක් වන මෙම හිලියර් විලෙහි ජලය රෝස පැහැයකට හැරී ඇත්තේ, මෙහි ජීවත් වන ඇල්ගී ශාකවල හා කරදිය ඉස්සන්ගේ බලපෑම නිසා ය. 

සාමාන්‍යයෙන් වර්ෂය පුරාවට ම මෙහි ජලය රෝස පැහැ වන අතර, ඇතැම් විටක දී ඒ පැහැය වෙනස් වන අවස්ථා ද නැත්තේ ම නැත. ඊට හේතු වී ඇත්තේ උෂ්ණත්වය, ලවණ මට්ටම හා ආලෝක ප්‍රමාණය ආදී කාරණාය. 










මෙය වර්ෂ 1802 දී මැතිව් ෆ්ලින්ඩර්ස් නම් ඉංග්‍රීසි ජාතික දේශ ගවේෂකයා විසින් සොයා ගැනීමෙන් පසුව, 2002 වසරේදී ප්‍රාදේශීය වශයෙන් වැදගත් තෙත් බිමක් ලෙස නම් කර ඇත. හිලියර් විල රක්ෂිත කලාපයක් බවට පත්ව ඇත්තේ, දෙදහස් දොළහ වසරේදීය.

---------------------------------------------------------------------------------

“රෙට්බා ඇළ හෙවත් රෝස ඇළ” නමින් හඳුන්වන අප්‍රිකානු විල ද ඉහත කිවු ආකාරයේ ම රෝස පැහැ ජලයෙන් යුතු ඇළකි. 


බටහිර අප්‍රිකාවේ සෙනිගාල්හි ඩකා නුවර පිහිටි මෙම විලෙහි ජලය එවැනි රෝස පැහැයක් ගෙන ඇත්තේ, එහි පවතින මිනිසුන්ට අහිතකර නොවන බැක්ටීරියාවක් හේතුවෙන් බව විචාරකයන්ගේ මතයයි. 

එනම්, ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් සමඟ හිරුරැස් ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් එහි ජලය රෝස පැහැයට හැරී ඇත.

---------------------------------------------------------------------------------

ඇමෙරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ වයඹ කොටසේ පිහිටා ඇති උල්පත් පනහකින් පමණ සමන්විත වර්ණවත් උල්දිය උල්පත් සමූහය ද එලෙස සංචාරක ආකර්ෂණය නිතැතින්ම හිමි කරගන්නවාට සැක නැත. ‍


පොළෝ ගර්භයේ ඇති ජලය යෙලෝස්ටොන් හුණු මිශ්‍රිත යටි පාෂාණය තුළින් පිටතට පැමිණ, ඒ ඒ දිය උල්පත් දේදුනු වර්ණයන්ගෙන් සමන්විත වේ. 

මේ අවට ට්‍රැවටීන් ඛනිජයෙන් සුසැදි ස්ථර දක්නට ඇත. ට්‍රැවටීන් යනු, ස්ඵටික කැල්සියම් කාබනේට් විශේෂයකි. 

ට්‍රැවටීන් ඛනිජය තැන්පත් වන අවස්ථාවේ දී සුදු පැහැයකින් යුක්ත වුව ද, ප්‍රතිරෝධක ඇල්ගී ශාකවල ප්‍රතික්‍රියාව නිසා එකී ස්ථරවලට දීප්තිමත් දුඹුරු පැහැයක් හා කොළ පැහැයක් උරුම වී තිබේ. 

කෙසේ වතුදු, මේවායේ ජලය මතට හිරු එළිය වැටී ජල වාෂ්ප දේදුනු වර්ණයෙන් බැබළෙන අයුරු අතිශය චමත්කාරජනකය.

---------------------------------------------------------------------------------

චමත්කාරජනක වර්ණ රැසකින් සමන්විත කැනෝ ක්‍රිස්ටල් නදිය පිහිටා ඇත්තේ කොලොම්බියාවේ ය. ඉවුර දෙපස පිහිටි දුර්ලභ පැළෑටිවලින් වැටෙන මල්වල පැහැය සොරාගෙන විචිත්‍රවත්ව දිස්වන මෙම නදිය “පාට පහේ නදිය” ලෙසද හඳුන්වනු ලබයි.



ටැන්සානියාවේ පිහිටි නේට්‍රන් ඇළ ද එවැනි අසාමාන්‍ය පැහැයකින් යුතු ඇළකි. ලවණ සාන්ද්‍රණය ඉතාම අධික මෙහි ජලය තැඹිලි පැහැයට හුරු රතු පැහැයකින් යුක්තය. 

මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසාම කිසිදු ජලජ පැළෑටියකට හෝ කිසිදු ජලජ ජීවියෙකුට මෙහි තම පැවැත්ම තහවුරු කර ගත නොහැකි වී ඇත.
--------------------------------------------------------------------------------
නවසීලන්තයේ ටොන්ගාරියෝ ජාතික උද්‍යානය තුළ පිහිටි එමරල්ඩ් විල කොළපාටට හුරු, අපූරු නිල් පැහැයකින් යුක්තය. 



ගිනිකඳු ආශ්‍රිතව පිහිටා ඇති මේ විලෙහි ජලය එවැනි පැහැයක් ගෙන ඇත්තේ ද ගිනි කඳුවලින් පිටවන ඛනිජ ද්‍රව්‍යවල ප්‍රතිඵලයක් ලෙසිනි.
---------------------------------------------------------------------------------
චිලීයේ දේශ සීමාව අසල පිහිටි රතු කලපුව, ලොව ස්වාභාවිකව පවතින වඩාත් සුවිශේෂී කලපුව වේ. සාමාන්‍යයෙන් පච්ච වර්ණයන්ගෙන් යුතු අනෙකුත් වැව් හෝ කලපු මෙන් නොව, මෙහි ඇතැම් ස්ථානවල සුදු පැහැති දූපත් ද දකින්නට ලැබේ. 



කලපුව වටා ඇති ඇල්ගී ශාක මෙම රතුපැහැය නිර්මාණය කරන්නට බලපා ඇතැයි විචාරකයෝ පවසති. කෙසේ වතුදු, සුදු පැහැ කුඩා දූපත්වලින් හෙබි, රතු කලපුව අරුම පුදුම සංචාරක ස්ථානයක් බව නම් නොකියාම බැරිය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.