Header Ads

හපුතලේ “ඇඩිසම් බංගලාව” සර් තෝමස්‌ විලියස්‌ ගේ සිහින මාළිගාව ගැන ඔබ නොදත් දෙයක් මෙන්න


හපුතලේ නගරයෙන් ඔබ්බට වැලිමඩ පාරෙහි කිලෝ මීටර් දෙකක්‌ පමණ ගමන් කළ විට හමුවන “ග්ලැනර් වතුයාය” අතරින් වම් අතට දිවෙන පටු මාවතෙහි කිලෝ මීටරයක පමණ දුර ගෙවා ගිය තැන, සිත්කලු මනස්‌කාන්ත පරිසරයක පිහිටි පෞරාණික “ඇඩිසම් බංගලාව” හමුවේ. රමණීය කඳු මුදුනක පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල පසෙකින් පහළ කඳු බෑවුම දෙස බලන විට චමත්කාර අන්දමින් දියතලාව නගරය මොනවට දිස්‌වේ.

ඇඩිසම්හි නිර්මාණ කටයුතුවලට මූලික වශයෙන් දායකවී ඇත්තේ එහි හිමිකරු වූ ඉංගී්‍රසි ජාතික “සර් තෝමස්‌ විලියස්‌” මහතාය. මෙයට ඇඩිසම් නාමය දෙනු ලැබුයේ ඔහු උපන් එංගලන්තයේ ඇඩිසම් ග්‍රාමය මුල්කරගෙන බවට තතු පැවසේ. වරෙක එංගලන්තයේ අගමැති ධුරය හෙබවූ “ජෝන් රසල්” මහතා සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ සීයා විය.

අයර්ලන්තයේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රම උපයෝගී කර ගනිමින් දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශීල්පීන් ලවා මෙම ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් හා නිර්මාණ කටයුතු කර ඇති අතර, 1931 වර්ෂයේදී සියලුම වැඩකටයුතු අවසන් කොට ඇත.

ඇඩිසම් බංගලාව සහ ඒ ආශ්‍රිතව ව්‍යාප්තව ඇති අක්‌කර 15 ක පමණ ගොවිපළ එහි අයිතිකරු වූ “සර් තෝමස්‌ විලියස්‌” මහතා විසින් පවත්වා ගෙන යන ලද අතර, 1948 වර්ෂයේදී එය විමලා විෙ-වර්ධන මහත්මියට විකුණනු ලැබීය. 1959 දී විෙ-වර්ධන මහත්මිය විසින් ක්‍රිස්‌තියානි ආගමික සංවිධානයකට මෙම බංගලාව සහ ගොවිපළ විකුණා ඇත. දැනට මෙම බංගලාවෙහි ක්‍රිස්‌තියානි පූජකවරුන් ඔවුන්ගේ ආගමික කටයුතුවල යෙදෙමින් ආගමික වැඩසටහන් පුහුණු කිරීමේ හා ආගමික දැනුම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරති.

ගොඩනැගිල්ලෙහි සියලුම තැනීම් කටයුතු කලුගලින් නිම කොට ඇත. මහල් දෙකකින් සමන්විත මෙම නිවහනෙහි කාමර 25 ක්‌ ඇති අතර, ඉන් 12 ක්‌ ඉහළ මාලයේ ඇත. සියලුම කාමරවලට උෂ්ණත්වය සැපයීම සඳහා ගල් අඟුරු උදුන් ඇත. මෙම උදුන් වලින් පිටවෙන දුම් සහ අලු ගොඩනැඟිල්ලෙන් පිටතට ඇද දැමීම සඳහා භ්‍රමණාකාර කවුලු පියන් සහිත කුලුණු හයක්‌ වහළෙහි සවිකොට ඇත.


පහත මාලයේ අමුත්තන් සඳහා වෙන් කරන ලද ආලින්දය පුරාණ ලී බඩුවලින් සමන්විතය. තෝමස්‌ විලියස්‌ මහතාට සහ ඔහුගේ රාජකීය පවුලට අයිතිව තිබූ 1931 වසරට වඩා පැරැණි ගෘහ භාණ්‌ඩ මෙම ගොඩනැඟිල්ලෙහි තිබේ.

සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ විශාල ප්‍රමාණයේ චිත්‍රයක්‌ ආලින්දයේ සවිකොට තිබේ. මෙම චිත්‍රය නිර්මාණය කොට ඇත්තේ ඉංගී්‍රසි ජාතික “ඩේවිඩ් පේන්ටර්” මහතා විසිනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ චිත්‍ර නිර්මාණයද ඔහු විසින් කොට ඇත. කඳුරට ප්‍රදේශයේ නොයෙකුත් සිත් ගන්නා ස්‌ථානවල දර්ශනීයත්වය පිළිබිඹු කෙරෙන තවත් චිත්‍ර ගණනාවක්‌ ආලින්දයේ වේ. සර් තෝමස්‌ විලියස්‌ මහතාගේ බිරිඳ විසින් එම චිත්‍ර නිර්මාණය කොට ඇත.

සර් තෝමස්‌ විලියස්‌ මහතා විසින් පරිශීලනය කරන ලද පොත්පත් හා ලිපි ලේඛන තැන්පත් කොට ඇති කාමරයක්‌ ආලින්දයට යාබදව වෙයි. පුරාණ කාලයේ නිර්මාණය කරන ලද ලී අල්මාරි කිහිපයක මෙම පොත්පත් තැන්පත් කොට ඇත.


එමෙන්ම සියලුම කාමරවලට උණු වතුර සැපයීම සඳහා විශාල බොයිලේරුවක්‌ සහිත කාමරයක්‌ද, මුලුතැන් ගෙයක්‌ද පහත මාලයේ වෙයි. ගොඩනැඟිල්ලෙහි උලුවහු, වහළ සහ බිම තේක්‌ක ලී වලින් සාදා ඇත. සීලිමෙහි කැටයම් ප්ලාස්‌ටර් පැරිස්‌ වලින් නිම කොට ඇත.

තේක්‌ක ලී වලින් නිමකොට ඇති වහළ ඉතා දැකුම්කලුය. වැස්‌සෙන් හා අව්වෙන් කිසිදු හානියක්‌ නොවන අයුරින් දැනට වසර 69 ක පමණ කාලයක්‌ මෙම ලී වහළ ආරක්‍ෂා කරගෙන ඒම සඳහා වසර දෙකකට වරක්‌ විශේෂිත තෙල් වර්ගයක්‌ ආලේප කරනු ලබයි.

ආගමික අධ්‍යාපනය ලබන්නන්ට හා ගුරුවරුන්ට නේවාසික පහසුකම් සැපයීම සඳහාද, ඔවුනට ආහාර පාන සැපයීම සඳහාද මෙහි කටයුතු කෙරේ. මෙම වැඩපිළිවෙළහි මූලික අරමුණ වී ඇත්තේ ක්‍රිස්‌තියානි ආගමික පුහුණුව හා ඒ ආශ්‍රිත දැනුම වර්ධනය සඳහා දායක වීමයි


ගොඩනැඟිල්ලට පිටතින් ඇති වත්ත අක්‌කර 15 ක්‌ පමණ වන අතර එහි ඇපල්, ස්‌ට්‍රොබෙරි, පෙයාර්ස්‌, පීච් වැනි පලතුරු වගාකොට තිබේ. මේවායේ අස්‌වැන්න ලබා ගනිමින් සියයට සියයක්‌ම ස්‌වාභාවිකත්වයෙන් යුක්‌තව, කිසිදු ආකාරයක අධි යාන්ත්‍රිකකරණයකින් තොරව, ජෑම්, කෝඩියල් වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක්‌ද මෙහි ක්‍රියාත්මක වේ. මෙම කටයුතු සඳහා හපුතලේ නගර ආශ්‍රිත ගම්මානවල ශ්‍රමිකයන් කිහිප දෙනකු සේවයට යොදා ගෙන ඇත. ඉහත කී පලතුරු වගාවට අමතරව අලංකාරත්වය උද්දීපනය වන අයුරින් ගොඩනැඟිල්ල අවට හා මාර්ගය දෙපස විවිධාකාර මල් වර්ග වවා තිබේ.

ඇඩිසම් නිවහන ආගමික ස්‌ථානයක්‌ හෙයින් එය නැරඹීම සඳහා කිසිදු ගාස්‌තුවක්‌ අයකරනු නොලැබේ. නරඹන්නන්ට මෙහි තොරතුරු විස්‌තරාත්මකව පැහැදිලි කරදීම සඳහා නිලධාරි මහතකු අනුයුක්‌ත කොට තිබීම ප්‍රශංශනීය කටයුත්තකි.

ආගමික ධර්මතාවන් සංවර්ධනය කරලීමත්, ඒ තුළින් මානව හිත සුව සඳහා පරිපූර්ණ දායකත්වයක්‌ කැපකරලීමත්, මූලික පරමාදර්ශය කොටගත් මෙම ආයතනයේ කළමනාකරණය, පැවැත්ම හා සංනිවේදන කාර්ය භාරය පිළිබඳ ප්‍රශංසනීය පුළුල් මහජන ප්‍රතිචාරයක්‌ ඇති බව දහස්‌ සංඛ්‍යාත නරඹන්නන්ගෙන් මොනවට පැහැදිලි වෙයි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.