Header Ads

අද සිට මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දීම ඇරඹේ

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් නාය යාමෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දීම අද ආරම්භ වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා කොළඹ, සාලමුල්ල ප්‍රදේශයේ ඉදිකළ නිවාස 65ක් ඒ වෙනුවෙන් වෙන් කර ඇති බව ය.

එම නිවාස ප්‍රමුඛතාව මත අවතැන් වූ පවුල් සඳහා ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

දැනට නිවාස අවශ්‍ය පවුල් සංඛ්‍යාව 98ක් ලෙස හඳුනාගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, නව නිවාස ලබා දෙන සෑම පවුලකට ම ඒ සඳහා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් 250,000ක මුදලක් ලබා දෙන බව ය.

කුණු කන්දේ කොටසක් නාය යාමෙන් විපතට පත් වූ පවුල්වල දරුවන්ට අවශ්‍ය පොත්පත් හා පාසල් උපකරණ‍ ලබා දීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසී ය.

මේ අතර කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක ය.

එම මෙහෙයුම්වලින් මේ වන විට සොයාගෙන ඇති මළ සිරුරු සංඛ්‍යාව 32කි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, ත්‍රිවිධ හමුදා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් රැසක් එම මෙහෙයුම්වල නිරතව සිටින බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.