Header Ads

එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ඉල්ලා අස්වෙයි.


එජාප කටාන ආසන සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු මෙනවිය  ඇය විසින් දරනු ලබන සියලු පක්ෂ තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ. ඇය මේ බව පැවසුවේ කටාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ පුවත්පත් සාකච්ජාවක දී ය. 

තම තීරණය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පක්ෂ මූලස්ථානය වෙත ලිඛිතව දන්වායැවූ බව ද ඇය ප්‍රකාශ කල අතර පසුගිය දිනක ජෝන් අමරතුංග ඇමතිවරයාගේ යහපාලන විරෝධි ක්‍රියාවක් නිසා තමන් මෙසේ ඉල්ලා අස්විමට තින්දු කළ බව ඇය පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය මෙසේ ද පැවසුවාය.
“කලින් ආණ්ඩුව කරපු වැරදි නිවැරැදි කරලා අපි යහපත් තැනකට මේ රට අරන් යන්ඩ සූදානම් වනවිට අපේම පක්ෂය නියෝජනය කරන අපේම ඇමැතිවරු මෙවැනි බලපෑම් කිරීම මම ඇත්තෙන්ම හෙළා දකිනවා. මා බලා‍පොරොත්තුවන්නේ මේ ප්‍රදේශයේ ජනතාව සංචාරක රියැදුරන් හැටියට කටයුතු කර සංචාරක ව්‍යාපාරය මේ ප්‍රදේශයේ දියුණු කර ඔවුන්ගේ ආර්ථිකය ගොඩනංවන්න උදව් කිරීමයි.

මෙම සංචාරක සේවා කමිටුව නීත්‍යනූකූල ටෙන්ඩරයක් මගින් අරන් තියෙන්නේ කිසිම දේශපාලන හිතවත්කමකට ලබාගත් දෙයක් නොවේ. මෙතැන බලපත්‍ර පහක් ඉල්ලා සිටින්න අමාත්‍යවරයාට කිසිම අයිතියක් නැහැ. මේ බලපත්‍ර 2017 අප්‍රියෙල් 17 වැනිදා නිකුත් කළා. නමුත් එතුමාට අවශ්‍ය බලපත්‍ර පහ දුන්නේ නැහැ කියලා එතුමා ලියුමක් එවනවා. පැයකට පමණ පසු යම්කිසි පැමිණිලි කීපයක් තිබෙන නිසා මේ බලපත්‍ර අත්හිටුවන ලෙසට ඇමැතිවරයා ගුවන්තොටු‍පොළට ලියුමක් එවා තිබුණා. මේ අනුව ගුවන්තොටු‍පොළ සමග ගිවිසුම අත්සන් කරන්න බැරිවී මේ සංචාරක රියැදුරන් අද ඉතාම අසරණ තත්ත්වයකට පත් වී සිටිනවා.

ඉතින් මා විශේෂයෙන්ම සඳහන් කරනවා අපි දේශපාලනයේදී බලා‍පොරොත්තු වන්නේ මහජනයාට අවශ්‍ය කරන සේවා ඉතාම යහපත් ලෙස ඉටුකරන්නයි. මේ යන ගමනේදී අමාත්‍යවරයා මගින් සිදුවෙන බලපෑම් ඉතා අසාධාරණයි. යුක්තියට පටහැනියි. ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් හැටියට මීට වඩා වගකීමෙන් තේරුම් අරගෙන ඔහු කටයුතු කළ යුතුයි.

පක්ෂයේ කෙනෙක් වුණත් මේ වැරැද්ද දැකලා අපිට අහක බලාගෙන ඉන්න බැහැ. ජනාධිපතිවරයාට වුණත් අගමැතිතුමාට වුණත් යම් කිසි වැරැද්දක් දැක්කොත් ඉදිරිපත් කරනවා. ඒවාට සාධාරණ විසඳුම් බලා‍පොරොත්තු වෙනවා. එම නිසා මේ එ.ජා.ප. සංවිධායක ධුරයේ කටයුතු කිරීම පවා මා ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ සම්බන්ධව ඉල්ලා අස්වීමේ ලිපිය මම මේ වන විට නායකතුමාට යවලා තියෙනවා. මම කැමැති නැහැ ජනතාවට බොරුකරන දේශපාලනයක් කරන්න. සමහර අවස්ථාවල ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න යම් යම් ගැටුම්වලට පවා මුහුණ දෙන්ඩ සිදුවෙනවා. අපි ඒවා කරන්නේ හොඳ පරමාර්ථයෙන්.

ඒ නිසයි මම සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන්නේ” “මා ජනතාවට දැනුම් දෙනවා ඕනෑම අසාධාරණයක් වන වෙලාවකට ජනතාව පැත්තේ මම ඉන්නේ කියා. මම දේශපාලන නායකයෝ ආරක්ෂා කරන්නේත් නැහැ. අපි පිට කොන්දක් ඇතිව දේශපාලනයේ නිරත වෙනවා. තනතුරු අවශ්‍ය නැහැ අපට දේශපාලනය කරන්න. ඉදිරියේදී මීට වඩා අභියෝගාත්මක ප්‍රශ්නවලට මුහුණ දෙන්ඩ සිදුවුවහොත් ඒවාට මුහුණදීලා කටයුතු කරන්න අපට ශක්තිය ධෛර්යය තියෙනවා.



එස්. ප්‍රනාන්දු – මීගමුව

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.