Header Ads

මවගේ උණසුම සොයා ඇය මියගිය තැනට ගොස් ග්‍රෙගරි වැව ලඟම අවසන් ගමන් ගිය හසිනිගේ කතාව

මේ වැව ළඟින් යන කොට මගේ අම්මා වතුර යට ඉන්නවා වගේ මට පෙනෙනවා. මම ආසයි අම්මා ඉන්න ඒ තැනට යන්න. මට අම්මා ළඟට යන්න හිතෙනවා. ඒ හින්දා මේ පාලම ළඟින් යනකොට අම්මා මැරිල හිටපු තැන වතුරට පනින්න හිතෙනවා’.


ඒ වයස අවුරුදු 16ක පාසල් සිසුවියක් වූ හසිනි සුලෝචනා පසුගිය කාලයේ තම යෙහෙළියන් සහ ඥාතීන් සමඟ නිතරම වගේ කියපු කතාවක්. එයා නුවරඑළිය නගරයේ ජනප්‍රිය පාසලක 11 වසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවියක් මෙන්ම එහි ශිෂ්‍ය නායිකාවක්ද වන නිසා ඇය එවන් අනුවන තිරණයක් ගනු ඇතැයි කවුරුත් නොසිතන්න ඇති.

එහෙත් ඇය කී කතාව සැබෑවක් කරමින් ඉකුත් මස 24දා රාත්‍රියේ ග්‍රෙගරි වැවේ ඇය කියපු තැනටම පැන සිය දිවි නසාගෙන තිබුණා.

බැලූ බැල්මට මෙය සමාජයට කිසිම වැදගැන්මක් නැති සාමාන්‍ය දෙයක් ලෙසින් පෙනී ගියද තවදුරටත් කරුණු සොයා බැලීමේදී මේක එකිනෙකට බැඳීගිය අවාසනාවන්ත සිද්ධි සමුදායක ප්‍රතිඵලයක් බව හෙළිවන්නේ මේ ලෙසින්.

සිය දිවි නසාගත් හසිනි දැරිය හැම තිස්සේම වගේ කතා කරපු අම්මා මිය ගිහින් තියෙන්නෙත් මේ විදියෙම රාත්‍රියක ග්‍රෙගරි වැවේ පාලම අසලින් වතුරට පැනලා.

පසුවදා එම සිරුර පාසි මැදින් මතුවෙලා තියෙන කොට මළ සිරුර හඳුනාගන්න යන්න බෝට්ටුවට නගින්න වුණේ එදා අවුරුදු 14ක් විතර වූ මේ පුංචි කෙල්ලට. ඒකට හේතුව වුණේ ඒ පේනතෙක් මානයක එයාගේ තාත්තා දකින්න ලැබුණේ නැති හින්දා. එදාත් ලොකු හදිස්සියක් තිබුණා මෙයාට අම්මා ළඟට යන්නට.

පොලිසියේ මහත්තුරුත් සමඟ බෝට්ටුවේ නැගලා එතැනට ගියත් තමන්ගේ අම්මා දියේ ගිලිලා මියගොස් සිටින හැටි දැක්කම ඇයට උහුලාගන්න බැරිවෙන්න ඇති. ඇඟිලි ගුලි කරගෙන යළි උඩට එන්නට වෙර දරා ඇති අන්දමින්ම මව මිය ගොස් සිටින හැටි දකින කොට ඇයගේ පපුව පැලෙන්න එන්න ඇති. ඒ දුටු පළමු දර්ශනය ඇයගේ ලේ මස් නහර ඇට මිඳුළු ‍හරහා කිඳා බසින්න ඇති මුළු ආත්මයටම.

මේ නොනිවෙන ගින්දර දැනිලා පැය කීපයක් ඇතුළත තවත් එවැනිම ගින්දරක් තමයි පත්තුවුණේ. ඔවුන් සිහිනෙකින්වත් නොසිතුව විදියට.

මව දිවි නසාගත් දුකට මෙන්ම ඇයගේ සියදිවි නසා ගැනීමට ඥාතීන්ගෙන් හා අසල්වාසීන්ගෙන් විවිධ චෝදනා එකදිගට එල්ලවීම් නිසා කලකිරීමෙන් සිටිය පියා මේ සිරුර ගොඩගන්නා දවසෙම එය දෙස බලන්නේවත්න නැතිව ඉවතට ගොස් වසපානය කර සියදිවි නසාගෙන තිබුණා. නුවරඑළිය නගරයේම ගොල්ෆ් ක්‍රිඩාංගණයේ පුංචි වන රොදක වස කුප්පියක් සහ හිස් ම ත්පැන් බෝතලයක් තිබූ තැනක තිබී එම මළ සිරුර හමුවුණේ දවසකට පස්සේ.

තරුණ දූවරු දෙදෙනෙක් හිටපු පවුලේ අම්මයි තාත්තයි දෙන්නම දූවරුන්ට යන කලදසාව මොකක්දැයි හිතන්නේ නැතිව ඒ දෙන්නා විතරක් නිදහස් වෙලා. සමහර විට ඒ අම්මයි තාත්තයි දෙන්නා එකම දවසේ එකට අවසන් ගමන් යන්න ප්‍රාර්ථනා කරගෙන ඇවිත් ඉන්න ඇති. ඒ දෙන්නා විවාහ වුණු මුල් කාලයේ බොහොම සතුටෙන් හිටපු දෙන්නෙක්. ඒක ඔප්පු වෙන්නේ මේ විවාහ මංගල්‍ය එක දිගට දවස් 3ක් ගත්තා කියන කතාවෙන්.

නුවරඑළිය ග්‍රෙගරි වැව කොනේ පිහිටි මහගස්තොට හන්දියේ කඩ පේලියෙන් වැඩි කඩ ප්‍රමාණයක් අයිතිවෙලා තිබුණේ මෙයාලට. එහිම තිබු නිවසක ඔවුන් දෙදෙනා බොහොම ආදරයෙන් කල්ගෙවන විට හසිනිගේ අක්කා පුංචි අමුත්තියක් ලෙස පවුලට එකතු වුණේ ඒ සතුට දෙගුණ දෙගුණ කරමින්.

එහෙත් කාලයක් ගතවෙන විට තාත්තාගේ එළවළු ව්‍යාපාරයෙන් පාඩුවෙන්න පටන්ගත්තා. ඔහු කරමින් සිටියේ තොග ගැනුම්කරුවෙකු ලෙසට එළවළු එකතුකොට කොළඹ යවන එක. ලොකු සේවක පිරිසකුත් ඒ සඳහා ඔහුට හිටියා. ඒ වන විට කොළඹට එළවළු තොග යවන සැපයුම්කරුවන් අතරින් ඔහු ඉහළ ස්ථානයක සිටියා.

ඒත් අවාසනාවකට මෙන් කොතෙක් උත්සාහ කළත් තමාට සුපුරුදු එළවළු ව්‍යාපාරයෙන් දිනෙන් දින පාඩු පිට පාඩු සිද්ධ වෙන්න වුණා. එහි ප්‍රතිඵල හැටියට කවදාක්වත්නොතිබුණු ගෙදර දොරේ අඩුපාඩුත් සමඟ සුළු සුළු නොහොඳ නෝක්කාඩුත් ඇතිවෙන්න ගත්තා.

මෙවන් කාලයක තමයි හසිනි දුව ඉපදෙන්නේ. ඒ වෙනකොට අම්මා සිටියේ යම් රෝගී තත්ත්වයකින්. ධනවත් පවුලකින් පැවත ආ ඇය විඳීමට පුරුදුව සිටි සැප සම්පත් අහිමිවීම නිසා ඒ ගැන නිතර දෙවේලේ කල්පනා කරන්නට යාම නිසාදැයි කියන්න කිසිවෙකු නොදනිතත් ඇයට ඒ දිනවල කල්පනා ශක්තිය අඩු‍ වැඩි වෙන ගතියක් තිබුණා කියන එක තමයි අදටත් ඥාතීන් කියන කතාව. මේ නිසාම එදා දවසෙත් දුක් විඳින්නට වෙලා තියෙන්නේ පුංචි හසිනිට. එතකොට එයාට වයස මාසයක් දෙකක් ඇති. සිහි කල්පනාව අඩුවුණ වෙලාවට එයාගේ අම්මා මේ ලේ කිරි කැටියගේ හිසෙන් පවා උස්සගෙන යනවා.

මේ සිදුවීම වෙනකොට පවුලේ අනෙක් අය බයවුණා දරු පැටියට හානියක් සිද්ධ වෙයි කියලා. මේ නිසාම සැමියාගේ අක්කාගේ තරුණ දියණියක් මේ දරු පැටියව එයාලගේ ගෙදර අරගෙන ගිහින් හදාගන්න පටන් ගත්තා. හසිනිව ඇති දැඩි කළ ඥාති සොයුරියගේ නිවස ආසන්නයේම පදිංචි තවත් ඥාති කාන්තාවක් මෙවන් කතාවක් පැවසුවාය. ඒ දරුවට මාස තුනේ ඉඳල කිරිදුන්නේ මම. ඊළඟට මාස කීපයකින් මගේ කුසටත් දරුවෙක් ආවට පස්සේ මම එයාට කිරි දෙන එක නතර කෙරුවා. ඒ ගමන මේ අක්කා පිටි කිරි දෙමින් තමයි ඔය දරුවව ලොකු මහත් කෙරුවේ. ඒ දරුවා වෙනුවෙන් මේ අක්කගේ මුළු ජීවිතයම කැප කෙරුවා. එයා කසාදයක් වත් බැන්ඳේ නෑ මේ දුවට වෙනස්කමක් වෙයි කියල බයෙන්.

එහෙත් ලස්සන තරුණ ජීවිතය පවා කැපකරමින් හැදූ මව තනිකර හසිනි වැදූ මව හොයාගෙන ගිහින් ඒ ගැන හැදූ මව වූ ඥාති සොයුරිය වන ශ්‍රියානි ධම්මිකා වික්‍රමාරච්චි මෙනෙවිය හැඬූ කඳුළින් එදා සිදුවීම විස්තර කළේ මේ විදියට.

මේ දරුවා වෙනදා වගේම එදත් පාඩම් කරමින් උන්නේ. මම එයා පාඩම් කරලා ඉවර වෙනකල් එතන තියෙන සැටියේ ඇලවෙලා ඉන්නවා. කරුමෙට වාගේ මට එදා නින්ද ගිහින්. රෑ එකොළහට විතර ඇහැරිලා බලන කොට පාඩම් කරමින් හිටපු දරුවා නෑ. පස්සේ මම කතා කරල බලල නැති තැන ටොයිලට් එකට ගිහින් බැලුවා. ඒකෙ ඇන ගහල වල තිබුණු ජනේලය ඇරල තිබුණා. ඒ සැකේට මම අහල පහල ගෙවල්වලටත් කතා කරල බලන කොට එයා පාඩම් කර කර හිටපු මේසේ උඩ තිබිලා එයා ලියල තිබුණ ලියුමක් හම්බවුණා. ඒකෙ තවත් විස්තර එක්ක මට ජීවත්වුණා ඇති කියල හිතෙනවා කියා ලියලා තිබුණා.

එදා රෑ අටහමාරට විතර මේ ළඟ තිබුණ මළ ගෙදරකටත් ගිහින් ඒ ඥාතීන්ට වැඳල කරල ඇවිල්ල තිබුණේ කියල දැන ගත්තාම අපි හැම තැනම දරුවව හොයන්න දිව්වා. නැතිම තැන කට්ටියක් ගියාරෑම එයා වැවට පනින්න හිතෙනවා කියපු තැනට බලන්න.

ඒ ඉවුරේ වැව පැත්තට බැහැල ගිය අලුත් අඩිපාරක් තිබුණා. ඒ සැකය හින්දා අපි පොලිසියටත් කියලා එලිවෙනකල් දරුවව වැවේ හෙව්වා.

අන්තිමට පහුවදා උදේ එයාගේ අම්මා වතුරට පැනල සියදිවි හානි කරගත්ත තැන තිබිලම හසිනිගේ මළ සිරුරත් ‍හම්බවුණා.

දොර ඇරියොත් මට ඇහැරෙයි කියන බයට තමයි එයා ජනේලෙන් පැනල ගිහින් තියෙන්නේ. පුදුම හිතෙනවා එයා කොහොමද ඒ උසට නැග ගත්තේ කියල. කොහොම වුණත් ඒ දේ වෙලා.

අපේ ගෙදර ඉඳල බලනකොට ග්‍රෙගරි වැව පේන මානයේ වුණාට මේ පැනපු තැනට කිලෝමීටර් කාලක විතර දුරක් යන්න තියෙනවා. මේ දරුවා ඒ දුර මහපාරේ පයින් ඇවිදගෙන යද්දි කිසිම කෙනෙක් මෙයා දැකලා නැත්තේ අපේ පවට. ඒ වගේම එයාව එයාගේ අම්මව හොයාගෙන අම්මගේ තුරුලට යන්න ඉක්මන් වුණාට මාස 3ක කාලෙ ඉඳන් පණ වාගේ බලාගත්තු මගේ පපුවේ ඇතිවෙන ගින්දර ගැන මගේ දුවට අමතක වෙන්න ඇති.

ඒ ඇය ඇති දැඩි කළ ඥාති අක්කා හැඬූ කඳුළින් කියන කතාව. සැබැවින්ම කුසෙන් නොවැදුවාට හසිනි සුලෝචනා දැරියට ඇය මවක්ව වූ බව අසල්වාසීන් පැවැසුවේ මේ විදියට.

ඔය දරුවා ආරක්ෂා කරගන්න ඕන හින්දම එයාගේ ගෙදර එක්කගෙන ගිහින් එයාගේ තරුණ ජීවිතේ ගෙවිලා වයසට යනකල් ලොකු කැපවීමක් කෙරුවා.

ඒත් මේ වෙනකොට සියල්ල සිදුවී හමාරය. මාස තුනක් වැනි කිරි දරුවෙකු කාලයේ අම්මාගෙන් වෙන් වුණත් වැදූ මව අසලින් යන විට හැමදාමත් හසිනිට කිරි සුවඳදැනෙන්න ඇති. ලොවට හොරෙන් ඇය නිහඬවම ඒ සුවඳ සිතින් විඳින්න ආසා කරන්න ඇති. සැබෑ ජීවිතයේදී ඇති තරම් ඇයගේ ඇකයේ සැතපෙන්න නොලැබුණ නිසාම ඒ අම්මාගේ හුස්ම පොද සැඟවගිය වැව් පතුලේ සීතල වතුර අස්සේදී මවු උණසුම සොයාගන්නට හැකිවෙතැයි ඇය කල්පනා කරන්නට ඇති.

ඒ උණසුම ඉදිරියේ හැදූ මව පොඩි වෙලාවකට අමතක වෙන්න ඇති.

එසේ මව සොයාගෙන මවු සෙනෙහස හොයාගෙන දියඹට පැන්න හසිනි අද මහගස්තොට කුඩා සොහොන් පිට්ටනියේ කොනක තනිවෙලා. ඇයගේ මවත් පියාත් සැතපෙන සොහොන් කනත්තේම මේ හසිනි දුවත් තනි වෙලා

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.