Header Ads

බෝගල පතල ලංකාවේ ප්‍රසිද්දම සහා පරණම පතල බෝගල පතලේ ඇත්ත කතාව


මිනිරන් කියූ විට අපට මතක් වන්නේ පැන්සලය වුවද අතීතයේ සිට මේ දක්වාම ලෝකයේ විවිධ කාර්මික නිෂ්පාදන රැසක් සඳහා එය භාවිත වනවා.

පෙරස් ලෝහ කර්මාන්තය, ස්නේහක, වියළි බැටරි, කාබන් ඇතිලිරි, රෝධක ඇතිලිරි, ඉලෙක්ට්‍රෝඩ ස්ලබ්ස්, ගිනිගල්, පැන්සල්, කෝව සහ ධාර උෂ්මක ඒ අතරින් කිහිපයක් පමණයි.

ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තයේ නිතර කියැවෙන ගමක්, බෝගල. අප රටේ දැනට ක්‍රියාත්මක විශාලම මිනිරන් පතලක් මෙහි පිහිටා තිබෙන අතර එය නරඹා අපුරු අත්දැකීමක් ලබාගැනීමට ඔබටත් පුලුවන්.

හැබැයි ඒ සඳහා බෝගල මිනිරන් සමාගමෙන් අවසර ලබාගත යුතුයි. බෝගල මිනිරන් ලෝකයේ හොඳම මිනිරන් වශයෙන් කීර්තිය ලබා තිබෙන අතර මේ පතලේ ගැඹුර මීටර් 476 (බඹ 275)ක් හෙවත් කිලෝ මීටර බාගයක් පමණ වෙනවා. එය මුහුදු මට්ටමටත් වඩා මීටර 290ක් ගැඹුරුයි. පොළොව ඇතුළත සේවකයන් මිනිරන් හෑරීම, පැටවීම, කළුගල් විදීම, දෝනා හැරීම, පතලේ ජලය ඉවත්කිරීම ඇතුළු වැඩ රාශියක නිරත වන්නේ කඩිගුලක් පරිද්දෙන්. ඔවුන් ඒ සියල්ලම කරන්නේ අඳුරු පරිසරයක හිසෙහි සවිකරගත් විදුලි පන්දමක ආධාරයෙන්.

පතලේ ඉතිහාසය                                                                                  


සෝපානය ක්‍රියාත්මක කරන යන්ත්‍රය

බෝගල පතල පිහිටන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටියාකුඹුරට ආසන්නවයි. අවිස්සාවේල්ල – කෑගල්ල මාර්ගයේ පැමිණ අඟුරුවැල්ල පසුකර මත්තමගොඩ හන්දියෙන් හැරී කි. මී. 5ක් පමණ ගමන් කිරීමෙන් බෝගල පතලට ළඟාවිය හැකියි. කලින් රජයේ සමාගමක් වූ එය අද පාලනය වන්නේ ජර්මනියේ ග්‍රැෆිට් ක්‍රොප්මුල් ඒ ජී. සමාගම මගින්.

හල්ලොලුව, අරැග්ගම්මන, පහලගම, කරගල යන ගම්මානවලින් වටවී ඇති බෝගල මිනිරන් පතලේ කතාව මෙරට මිනිරන් ඉතිහාසය තරම්ම පැරණියි වගේම රසවත්. බෝගල මිනිරන් කර්මාන්තය ආරම්භ වී ඇති බව පැවසෙන්නේ වර්ෂ 1800 දී, එකල පොළෝ අභ්‍යන්තරයෙන් හමුවූ දිලිසෙන ඛනිජය මිනිරන් බවට හඳුනාගැනීමෙන් පසුව කුඩා පරිමාණයෙන් මිනිරන් හෑරීම ඇරඹී තිබේ. ක්‍රමයෙන් මෙහි පතල් තුනක් ආරම්භ වුනු අතර පුංචි බෝගල, මහබෝගල (වර්තමාන පතල) සහ  කරදවත්ත යන නම්වලින් ඒවා හැඳින්වුණා. වර්ෂ 1847 දී බෝගල පතල රජයේ ලියාපදිංචි කළ බවට කෑගල්ල දිසාපති‍ගේ වාර්තාවල සඳහන් වෙනවා.

එකල බෝගල එක් පතලක හිමිකරුවා වූයේ කතෝනිස් බාස් හෙවත් ප්‍රනාන්දු නම් පතල් කම්කරුවායි. ඔහු ක්‍රමයෙන් අනෙක් පතල් කෙරෙහි ආධිපත්‍යය පතුරුවමින් ඒවා මිලදී ගත් අතර 1920 දී පුංචි බෝගල මිලදීගත් ප්‍රනාන්දු පසුව බෝගල කන්දේ සියලුම පතල්වල තනි හිමිකරුවා බවට පත්වුණා. එය නිල නොවන රජකමක් හා සමානයි.

කළු රත්තරන් ලෙස හැඳින්වූ මිනිරන් නිසා ධනවතෙකු වූ කතෝනිස් බාස් එකල ගෙවන ලද්දේ සුපිරි ජීවිතයක්. ඔහුගේ පු‍තෙකු එංගලන්තයේ අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහු ලංකාවට එන විට බ්‍රිතාන්‍ය ජාතික ක්‍රිස්ටෝපර් රොනල්ඩ්ස් නම් කැණීම් විශේෂඥයකුද කැඳවාගෙන ආවා. ඔහු බෝගල පතලට තට්ටු කැපීම හා පිරවීම නම් ක්‍රමවේද හඳුන්වා දුන්නා. වර්ෂ 1889 දී උපරිම මිනිරන් නිෂ්පාදනයක් බෝගලින් වාර්තා වූ අතර, 1916 දී වාර්තාගත මිනිරන් අපනයනයක් සිදුවුණා. පළමු (1914-1918) සහ දෙවන ලෝක යුද (1939-1945) කාලවලදී මිනිරන්වල ඉල්ලුම වාර්තාගත ලෙස ඉහළ ගිය නිසා අපනයනයත් ඒ සමගම ඉහළ ගියා.

දබරයෙන් මිනිරන් ගෙන ඒම

පතලේ දෝනාවක්.

අද නම් මිනිරන් කර්මාන්තයත් නවීකරණය වෙලා. 1952 සිට පතල්වලට බැසීමට භාවිත කරන්නේ විදුලි සෝපාන යන්ත්‍රයි. ඊට පෙර මිනිරන් ගොඩට රැගෙන ඒමට මෙන්ම, සේවකයන් පතලට බැසීමටත් භාවිත කළේ අතින් ක්‍රියාත්මක වූ දබරයයි. එකල පතල් දිවිය බොහෝ භයංකාර වූ අතර ලෙඩරෝග බහුල වුණා. වෙඩි දමමින් පතල් කැණීමේ දීත් බොහෝ අනතුරු සිදුවුණා. පතල ඇතුළත විෂවායු මෙන්ම ජලය පිරීමද පතල්කරුවාට මුහුණදීමට සිදුවූ සුලබ අනතුරු කිහිපයක්.

දබරය විශාල ලී කඳක් කරකැවිය හැකි වනසේ යොදාගත් සරල උපකරණයක්. එහි කඳේ ඔතා ඇති කඹවලින් ඉහළට පහළට ප්‍රවාහන පහසුකම් ලැබුනේ දෙපැත්තේ සිට දෙදෙනකු අතින් කරකැවීම සිදු කිරීමෙන්.  එසේ ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් මිනිරන් කැඩූ එකල ගැමියෝ තම දුක ජනකවි ලෙසින් කිව්වා.

කරවනැල්ල ඉස්ටේසම ටිකට්     
දෙනරුවන්වැල්ල කන්තෝරැව ලියුම් 
දෙනකොටියාගල ඉස්ටෝරැව බඩු      
කිරනමාබෝගල පතලයි මා වැඩ කරන

අපි පතල තුළට බැස්සේ විදුලි සෝපානයක් ආධාරයෙන්, පතලට බැසීමට පෙර පතල තුළදී අනතුරක් වුවහොත් එහි වගකීම තමන්ම බාරගන්නා බව සඳහන් ප්‍රකාශයකට අත්සන් තැබීමත් මෙහිදී සිදු කල යුතුයි.

පොළොව තුළ දැන්විම් පුවරු.

සෝපානය වේගයෙන් පහළට යනවා. අප මේ ගමන් කරන්නේ බඹ 275 දක්වා පතුළටයි. පතලේ ගැඹුරුම ස්ථානයට ගිය අපට නම් හුස්ම ගැනීමේ තරමක අපහසුවක් දැනුනා. ඒ මේ පරිසරයේ ආර්ද්‍රතාවය වැඩි නිසායි. ඉහළ සිට ඔක්සිජන් ලබාගන්නේ ප්‍රධාන ආවාට දෙක ඔස්සේ ස්වභාවිකව වන අතර මෙහි ක්‍රියාත්මක වැකුම් යන්ත්‍ර මගින් හුළං වේගයෙන් ඇද එම අඩුව පිරවීමට වාතය ඉහළ සිට පහළට ඇද දෙනවා. පතල තුළ පිරෙන ජලය නල මාර්ගයක් ආශ්‍රයෙන් වේගයෙන් ඉවත් කෙරෙනවා.

පතල ජනසතු කිරීම                                                                               

දෝනාවක් තුළදී

1970 දක්වා බෝගල පතලේ අයිතිය තිබුණ් මොරටුවේ අර්නස්ට් ප්‍රනාන්දු නම් ව්‍යාපාරිකයෙකුට යි. 1970 සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ පතල ජනසතු කර රාජ්‍ය ආයතනයක් බවට පත් වුණා.  ජනසතුවෙන් පසු 1971 දී පතල් කම්කරැවන්ට කොටකලිසම් ඇඳීමට අවසර ලැබුණ අතර, හොඳ ආහාර වේලක්ද පාලනාධිකාරියෙන් සැපයුණා. ඊට පෙර ඔවුන්ට පැය අටක සේවා කාලය තුළ ලැබුණේ බනිස් ගෙඩියක් සහ කහට තේ එකක් පමණයි.

වර්ෂ 1991 දී බෝගල පතල සහ කොලොන්ගහ/කහටගහ පතල් පුද්ගලික අංශයට විකුණුවා. ඒවා වෙන වෙනම සීමාසහිත ලියාපදිංචි සමාගම් බවට පත් කෙරුණු අතර අද බෝගල පතල පාලනය වන්නේ ජර්මනියේ ග්‍රැෆිට් ක්රෝෆ්මුල් සමාගම මගින්. ඔවුන් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරැ වූයේ වර්ෂ 2000 දී යි.

බෝගල පැරැණී බෝධි වෘක්ෂය.

පුරාණයේ පටන්ම සේවකයන් වැඳුම් පිදුම් කළ පැරණි බෝධියක්ද පතල් භූමියේ තිබෙනවා. අදටත් සේවකයන් දවස පටන් ගනනේ එයට වැඳුම්පිදුම් කිරීමෙන් පසුවයි.

අද සේවකයන් පතලට බසින්නේ සම්පූර්ණ ඇඟලුමක් හැඳ හිසට ආරක්ෂිත හිස්වැසුම් පැළඳගෙනයි. ඔවුන් ආලෝකය ලබාගන්නේ බැටරියකින් ක්‍රියාත්මක හිස් වැසුමේ පළඳින විදුලි පන්දමකින්. එහි විදුලි බලය පැය 8 කට සෑහේ. ටික කලකට පෙර ආහාර ගත්තේ පතල තුළම වුවත් අද සමාගම මගින් සැපයෙන ආහාර ගන්නේ පතලෙන් ගොඩවී ආපන ශාලාවට පැමිණීමෙන්. මෙහි සේවා මුර දෙකක් ක්‍රියාත්මකය.

උදේ 7.00 සිට 3.00 දක්වා සහ සවස 2.30 සිට රාත්‍රී 10.30 දක්වාත් වශයෙන් මෙම සේවා මුර වෙන්වේ.

ඉතින් මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වුනේ පතල් හෑරීම පිලිබඳ සුළු හඳුන්වාදීමක් ඔබ වෙත ගෙන එන්නටයි. ලංකාවේ පතල් පිලිබඳ ඔබේ දැනුම කොහොමද?

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.