Header Ads

උතුරු කොරියාව ‘න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදානම්’ බව පෙන්වයි


ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් කළ උතුරු කොරියාව කලාපය තුළ ප්‍රකෝපකාරී ක්‍රියාවල නොදෙන්නැයි දන්වමින් “න්‍යෂ්ටික ප්‍රහාරවලින් ප්‍රතිප්‍රහාර දීමට සුදානම්” බව කියා සිටියේය.

උතුරු කොරියාව එම ප්‍රකාශය කළේ එරට සමාරම්භක ජනාධිපති කිම් ඉල්-සුංගේ 105 වෙනි ජන්ම සැමරුම පැවැත්වෙද්දීය.

ඊයේ (අප්‍රේල් 15) ප්යොංයැං අගනුවර පැවති උත්සවයේදී හමුදා සෙබළුන් මෙන්ම යුද උපකරණ ප්‍රදර්ශනය කෙරුණු පෙළපාලියක් ද පැවැත්විණි.

උතුරු කොරියාව එම අනතුරු ඇඟවීම කළේ එරට නායක කිම් ජෝන් අන් තවත් න්‍යෂ්ටික අත්හදාබැලීමකට නියෝග කරනු ඇතැයි මතයක් පැතිර යමින් තිබෙන අවස්ථාවකදීය.

“ඕනෑම න්‍යෂ්ටික ප්‍රහාරයකදී අපට අනන්‍ය වූ ක්‍රමයකින් න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අප සුදානම්” යැයි උතුරු කොරියානු හමුදා නිලධාරියකුවන චෝ ර්යෝන්ග්-හේ පැවසීය.

උතුරු කොරියාවේ හමුදා සංදර්ශනය පවතින අතරවාරයේදී ඇමෙරිකාව සමග අර්බුදයකට යනු ඇත්දැයි යන්න පිළිබඳව කලාපය පුරා පැතිරගියේ උණුසුම් වාතාවරණයකි.

පෙළපාලියේ යෙදුනු හමුදා වාදක කණ්ඩායම් හා භට පිරිස් නගර මධ්‍යයේ පිහිටි කිම් ඉල්-සුං චතුරශ්‍රය වෙතඇදී ගියහ.

සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හරින ලෙස අමෙරිකාවෙන් කෙරෙන බලපෑම නොතකමින් සිටින උතුරු කොරියාවට සිය අනාගත ඉලක්ක වෙනුවෙන් යන ගමනේදී න්‍යෂ්ටික වැඩපිළිවෙල කෙතරම් වැදගත් ද යන්න මෙම උත්සව අවස්ථාවෙන් ද පෙන්නුම් කර ඇත.

කොරියානු අර්ධද්වීපය වෙතට නාවික ප්‍රහාරක බලඇණියක් යෙදවීමට ඇමෙරිකානු හමුදාව පියවර ගැනීමත් සමග එම කලාපය තුළ උණුසුම් තත්වයක් මතුවෙමින් පවතී.

මේ වනවිට උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් මෙන්ම මිසයිල අත්හදාබැලීම් රැසක් ක්‍රියාත්මකකොට ඇත.

විශේෂඥයින් හා රජයේ නිලධාරීන්ගේ මතය වී ඇත්තේ ඇමෙරිකාව කරා ළඟාවිය හැකි න්‍යෂ්ටික යුද ශීර්ෂ සහිත මිසයිල ගොඩනැගීම සඳහා උතුරු කොරියාව ක්‍රියා කරමින් සිටින බවය.

මේ අතරේදී සිකුරාදා අනතුරු ඇඟවීමක් කළ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, “ඕනෑම වෙලාවක අර්බුදය පැනනගින්න පුළුවන්.” යැයි පැවසුවේ යුද්ධයක් ඇතිවුවහොත් කිසිවකු හෝ ජයග්‍රාහකයකු නොවනු ඇති බව පෙන්වමිනි.

මෙම අර්බුදය ආණ්ඩු බිඳ වැටීමකට හේතු වී දේශ සීමා අතර ගැටළු මතු කරනු ඇති බවට උතුරු කොරියාවේ එකම සහයකයාවන චීනය බිය පළකරයි.

“සෑම පාර්ශ්වයකින්ම අප ඉල්ලා සිටින්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් එකිනෙකාව ප්‍රකෝප ගැන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් වැළකී මෙය ආපසු හැරවිය නොහැකි හෝ හසුරුවාගත නොහැකිවන තත්වයක් දක්වා ඇදී යාමට ඉඩ නොතබන ලෙසයි” යැයි චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරු කොරියාව සම්බන්ධ ගැටලුව විසඳීමට චීනය සහය නොදෙන්නේ නම් ඇමෙරිකාව තනිවම එය විසඳන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට දින කිහිපයකට පෙර පවසා තිබුණි.

හමුදාමය ක්‍රියාමාර්ගවලට පිවිසීම සඳහා තමන්ගේ ඇති සුදානම ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෑතදී පෙන්වා දෙනු ලැබුවේ සිරියාවට කෘස් මිසයිල ප්‍රහාරයක් දියත් කරමින් හා ඇෆ්ඝනිස්තානයේ ඉලක්කයක් වෙත විශාල බෝම්බයක් හෙළමිනි.





No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.