Header Ads

අලුත් අවුරුද්දේ වලව්වලට තරුණියන් ගෙන්වාගත් උඩරට රදළයෝ.


අද වන විට නවීන උත්සව අංග වලින් පිරෙමින් පවතින සිංහල අලුත් අවුරුද්ද කන්ද උඩරට රාජධානි සමයේ දී ආධ්‍යාත්මික සහ කාමභෝගී අංග වලින් පිරිපුන් උත්සවයක් බව සමකාලීන වාර්තා පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. කන්ද උඩරට රජකළ නායක්කර් වංශික රජුන්ට බිසෝවරුන් රැසක් සිටි අතර එම බිසෝ වරුන්ගේ ශ්‍රේණිගත කිරීමක්ද තිබූ බව සමකාලීන වාර්තා මගින් පැහැදිලි වෙයි. එහිදී රන් ආලේපිත දෝලාවේ ගමන් කළ රජුගේ අගබිසව ‘රන්දෝලිය’ ලෙසත් යකඩ දෝලාවන් හි ගමන් කළ සෙසු බිසෝ වරුන් ‘යකඩදෝලි’ ලෙසත් හැදින්වූ බව නොරහසකි. 

ඒකෙසේ හෝ කන්ද උඩරට රාජධානි සමයේ අධිකාරම් වරුන් මොහොට්ටාල වරුන් නිලමේ වරුන් දිසාවේ වරුන් ඇතුළු සෙසු ප්‍රභූන්ගේ නිවෙස් වල සේවය පිණිස සිංහල අලුත් අවුරුදු සමයේ දී අවට ප්‍රදේශ වලින් රූමත් තරුණියන් තම වලව් වලට  කැඳවාගත් බවත් සිංහල අවුරුදු චාරිත්‍ර සැමරුමේ දී ඔවුන් වෙත විශේෂ වැඩකොටස් පැවරී තිබූ බවත් සමකාලීන මූලාශ්‍ර නිරීක්ෂණයේ දී තහවුරු වේ. එසේ ප්‍රභූන්ගේ නිවෙස් වලට පැමිණි කන්ද උඩරට රූමත් ලළනාවන්ට අවුරුදු සමය අවසානයේ එම ජන ප්‍රධානීන් විසින් නොයෙකුත් තෑගි බෝග ප්‍රදානය කළ බව පැවසේ. කන්ද උඩරට රජු සම්බන්ධ මෙම තත්ත්වය පිළිබඳව විදේශීය ලේඛකයන්ගේ වාර්තා අතරින් තෝරාගත් වාර්තා දෙකකි මේ.

1815 වසරේ ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් කරවීම පිණිස සුවිශේෂ බුද්ධිමය දායාදයක් ලබාදුන් බි‍්‍රතාන්‍ය ජාතික රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියකු වන ශ‍්‍රීමත් ඩොයිලි බාට් තම රාජකාරී දින පොතේ තබා ඇති මෙම සටහන් මගින් ශ‍්‍රී ලංකාව ඉංග‍්‍රීසීන්ට යටත් වන සමයේ මෙරට පැවැති සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ වැදගත් සාක්ෂියක් ලබාගත හැක.

1815 අපේ‍්‍රල් 10 දින

පහට මඟුල් මඩුවේ දී අදිකාරම්වරුන් දෙදෙනා හමු වූයෙමි. හෙට රජ මාලිගයේ පැවැත්වීමට නියමිත සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරිමට අදාළ කටයුතු සූදානම් කළෙමි.

රාත‍්‍රී නවයට නාථ දේවාලයට ගොස් පැය භාගයක් එහි ගත කළෙමි. අදිකාරම්වරුන් ඇතුළු සෙසු ප‍්‍රභූහු එහි ඖෂධිය ශාක සාර (නානු) පිළියෙළ කළහ. ඒවා මැටි බඳුන්වල බහා හෙට දිනයේ පාවිච්චි කරනු පිණිස මහනුවර සහ සෙසු ප‍්‍රදේශවල විහාරාරාමවලට සහ අදිකාරම් වලව් වලට යවන ලදී.

1815 අප්‍රේල් 11 දින

අලූත් අවුරුද්ද වෙනුවෙන් සැකසූ නානු කුඩා මුට්ටි දෙක බැගින් සෑම විහාරස්ථානයකටම යවන ලදී. ඒ හේවිසි වාදන සහිත ගරු ගාම්භීර පෙරහරකිනි. නානු මුට්ටි හයක් මා වෙත ද එවන ලදී. ඒ මුට්ටි සමග කොඳගමක් සහ වෙලමක් ද තිබිණ.

ප.ව. 6.30ට ඇහැලේපොළ නිලමේ මඟුල් මඩුවට සැපත් විය. ඉන්පසුව අදිකාරම් දෙදෙනා සහ සෙසු ප‍්‍රභූහු ද එහි ආහ. නොනගතය පෑ තැටියෙන් බලා ප‍්‍රකාශ කරන ලද්දේ නක්ෂත‍්‍රඥයා විසිනි. නැකත් වේලාව ඇරඹිණි. නාථ දේවාලයේ හේවිසි නාද කෙරිණ. දිසාවකට දෙක ගණනේ කොඩි තුවක්කු වෙඩි මුර අටක් ද තබන ලදී.

නැකත උදාවත්ම ප‍්‍රභූ පවුල්වල රුවැති යුවතියෝ දල්වා ගත් පන්දම් සහ සහලින් සහ කහ දියරවලින් යුතු තැටිය බැගින් ගෙන රජතුමාට නොදුරින් සිටියහ. නැකත උදාවත්ම රජතුමා හිසෙහි නානු ගල්වා ගත් අතර එම යුවතියෝ අපේ රජ්ජුරුවන් වහන්සේට පස්වාන් දහසක්, ඉර හඳ පවතිනා කල් ආයුබෝ වේවායි තෙවරක් සුබ පැතූහ. ඉන්පසු නිලමේවරුන් සහ රාජ පුරුෂයෝ ද රජතුමාට එලෙස සුබ පැතූහ.

1815 අපේ‍්‍රල් 12 දින

මෙදින අලූත් අවුරුද්ද එළැඹෙන වේලාවේ ආහාර ගැනීම සිදු කෙරිණ. මෙදින සහ අනිද්දා නිවාඩු දිනයක් බැවින් උඩරට වැසියෝ සියලූ වැඩ කටයුතු ගමන් බිමන්වලින් අත්මිදී සිටිති.

නැකතට අනුව රජ වාසල පිසෙන රසවත් ආහාරය ‘‘දින භෝජමී’’ යනුවෙන් හැඳින්වෙයි. නැකත් වේලාවට මින් කොටසක් අනුභව කරන රජතුමා අනතුරුව රජ වාසලට පැමිණ සිටින තම හිත මිත‍්‍රාදීන්ට මෙය පිරිනමයි. මෙදින රාත‍්‍රියේ ද රජවාසල විශේෂ භෝජන සංග‍්‍රහයකි. නැකතට අනුව ආහාර ගත් සියල්ලෝ මෙහි දී රජතුමා සමග එම භෝජනය භුක්ති විඳිති.

වර්ෂ 1821 දී ඉංග‍්‍රීසි ජාතික වෛද්‍ය ජෝන් ඬේවි කන්ද උඩරට රාජ්‍යයේ අවුරුදු මංගල්‍යය ගැන දීර්ඝ විස්තරයක් සපයයි. නමුත් ඩේවිගේ තොරතුරුවලට ඇතුළත් වන්නේ රජවාසල අලූත් අවුරුදු විස්තරයක් පමණි. රාජකීය වෛද්‍යවරුන් විසින් නාථ දේවාලයේ දී ඖෂධ පැළෑටි යුෂ භාජන දහසක් පිළියෙළ කරන බවත්, ඒවා රජ මාලිගයට ගෙනා පසු රජ මාලිගය තුළට යවන බවත් හෙතෙම වාර්තා කරයි. එසේම රාජකීය ජ්‍යොතීර්වේදීන් අවුරුද්ද ලබන වේලාව, නානු ගැල්විය යුතු වේලාව, ආහාර ගත යුතු වේලාව, වැඩ ඇල්ලිය යුතු වේලාව, ස්නානය කළ යුතු වේලාව, රජුට දැකුම් ඔප්පු කළ යුතු වේලාව ආදිය සකස් කර දෙන බව ද ඔහු සටහන් කොට ඇත.

ගිනිකොන දිග බලා නුග කොළ අතින් ගෙන, පයට ඉඹුල් කොළ තබා දැල්වෙන පහනක් ගත් යුවතියක අතින් රජුගේ හිසත්, ශරීරයත් කහ දියරින් නහවමින් එතුමාට දිගාසිරි පැතිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ අනුව රටවැසියන් ද රජු අනුගමනය කරමින්, තෑගි බෝග හුවමාරු කරගනිමින් හිසේ නානු ගා ස්නානය කරමින් අවුරුද්ද සමරන ලද බව ඬේවි පවසනුයේ සිංහල අලූත් අවුරුදු උත්සවයේ එකල පැවති අධ්‍යාත්මික සහ කාමභෝගී සුසංයෝගය පිළිබඳ වැදගත් ඉගියක් අපට ලබා දෙමිනි.

ලක්බිම - දමයන්ති ගමගේ

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.