Header Ads

ඇමරිකාව ලොව විශාලතම බෝම්බය ඇෆ්ගනිස්තානයට හෙලයි! – ISIS භුගත බංකර් සුනු විසුනු වෙයි! (PHOTOS)


සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ ‘සියලු බෝම්බවල මව’ ලෙසය. 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරිණි.

වැරදුනු කුරුමානම

පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්තානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙලනු ලැබූ බවය.

මේ පිලිබඳ තොරතුරු හෙලිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දීය. හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගියහ.

‘මව් බෝම්බයේ’ වගතුග

ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය.

ප්‍රහාරයේ ප්‍රථිඵලය කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පැවසුවේ ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවය.

GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙලනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.
(BBC සිංහල සේවයේ වෙබ් අඩෙවියෙන් උපුටා ගන්නා ලදි.)




 සිරියාවේදී කළ ඇමරිකානු ප්‍රහාරයට රටවල් 5 ක සහයෝගය

සිරියානු ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකාව කළ මිසයිල ප්‍රහාරයට සහයෝගය දක්වන බව රටවල් පහක් මේ වන විට ප්‍රකාශ කර ඇත. එංගලන්තය, ජපානය, සෞදි අරාබිය, ඕස්ට්‍රේලියාව හා ඊශ්‍රායෙලය යන රටවල් ඇමෙරිකාවේ මෙම තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බව ප්‍රකාශ කර තිබේ. 

එම ප්‍රහාරය ඇමෙරිකාවේ කලහකාරී ක්‍රියාවක් බවත් ඉන් රුසියා-ඇමෙරිකා සබඳතාවලට හානි විය හැකි බවත් රුසියාව අනතුරු අඟවයි. එම ප්‍රහාරය ආරවුලකට මුල පිරිය හැකි බවද රුසියාව කියයි. 

මෙම ප්‍රහාරයෙන් හය දෙනකු මියගොස් ඇතැයි සිරියානු හමුදා පවසයි.

එම ප්‍රහාරය බසාර් අසාද් ගේ ම්ලේච්ඡ රසායනික ප්‍රහාරයට කදිම පිළිතුරක් බව එංගලන්තය ප්‍රකාශ කළේය. එංගලන්ත රජය පැවසුවේ සිරියා රජයේ ගුවන් හමුදා කඳවුරට පහරදීමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණයට සහයෝගය පළකරන බවයි. 

සිරියාවට එල්ල වූ රසායනික ප්‍රහාරය එම කඳවුරේ සිට සැලසුම් කරන්නට ඇතැයි ඇමෙරිකාව චෝදනා කළේය. ශයිරාත් ගුවන් හමුදා කඳවුරට මධ්‍යධරණී මුහුදේ තිබූ ඇමෙරිකානු යුද නැවක සිට ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල ප්‍රහාර 59 ක් පමණ එල්ල කර තිබිණි. 

එම කඳවුරේ රුසියානු නියෝජනයක් ද ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමෙරිකාව රුසියාවට අනතුරු අඟවා තිබේ. නමුත් ක්‍රෙම්ලින් කාර්යාලය එම ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට පටහැනි බව පවසමින් ඇමෙරිකාවට අනතුරු අඟවා තිබිණි.


සිරියානු ජනපති අසාද් මහතාගේ නියෝග පරිදි එල්ල කෙරුණ බව කියන පසුගිය අඟහරුවාදා සිදුවු රසායනික ප්‍රහාරයෙන් කුඩා ළමයින් 20 දෙනකු ඇතුළුව 72 දෙනකු මිය ගොස් තිබිණි.
(ද ටෙලිග්‍රාෆ් /ඒඑෆ්පී ඇසුරෙනි - 042)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.