Header Ads

මෝරා සුළි කුණාටුවේ බලපෑමෙන් අද ත් තද වැසි හා සුළං: ආපදා තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 180 දක්වා ඉහළට


බෙංගාල බොක්කේ වර්ධනය වූ මෝරා සුළි කුණාටුවේ බලපෑමෙන් අද දිනයෙත් දිවයිනේ තද වැසි හා සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ස්වභාවික ආපදාවන්ගෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 180 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

තව ත් පුද්ගලයින් 110 දෙනෙකු අතුරුදන්ව සිටින බව ද ඔහු කියා සිටියේ ය.

පුද්ගලයින් 76,902 දෙනෙකු තවදුරටත් අවතැන්ව සිටින අතර පීඩාවට පත් පිරිස ලක්ෂ 5කට අධික ය.

මේ අතර හංවැල්ල – ලබුගම මාර්ගයේ තුම්මෝදර ප්‍රදේශයේ කන්දක් නායයෑමකට ලක්විය.

නායයාමෙන් හංවැල්ල – ලබුගම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

මින් නිවාස 4කට හානි සිදුවිය.

එම ස්ථානයෙන් පදිංචිකරුවන් ඉවත්ව සිටීම හේතුවෙන් ජීවිත හානි වැළකී තිබේ.

පවුල් 88ක් මේ වන විට රැඳී සිටින්නේ, තුම්මෝදර ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානයේ ය.

මේ අතර පාදුක්ක, දඹෝ‍‍ර අයර්වත්ත ප්‍රදේශයේ නායයෑමක් වාර්තා විණි.

මේ පිළිබඳව නායයෑම් අධ්‍යයන අංශය විසින් ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ අසල සිටි පවුල් 36ක් ඉවත්ව තිබේ.

මේ හේතුවෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

අදාළ පවුල් දැනට රැඳී සිටින්නේ, දඹෝර කනිෂ්ඨ විද්‍යාලයේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.