Header Ads

ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 230,571කට පීඩා: හෙට සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක්.


දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හා නායයාම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තව ත් පුද්ගලයින් 100කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බව ය.

පවතින ආපදා තත්ත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක පුද්ගලයින් 230,571 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

මේ අතර නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් මහා ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟේ බන්ඩත්තර බැම්ම අවදානම් මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බද්දේගම වේල්ලේ ස්ථාන කිහිපයකින් ජලය කාන්දු වන බව බද්දේගම වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ අවට ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ය.

ජලය කාන්දු වන ස්ථාන පිළිසකර කිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර තිබේ.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට තවදුරටත් බාධා මතුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මීට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

හෙට සිට යළි වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.