Header Ads

මාස 6ක් තුළ මන්ත්‍රීවරුන්ට හා නිලධාරීන්ට වාහන මිලදී ගැනීම සඳහා කෝටි 148කට අධික පරිපූරක ඇස්තමේන්තු (VIDEO)


අමාත්‍යවරුන් 06 දෙනෙකුට සහ නිලධාරීන් දෙදෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 32කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ගෙවුණු මාස 06ක කාලය තුළ මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ තෙවන පරිපූරක ඇස්තමේන්තුව මෙය යි.

2016 නොවැම්බර් 26

ඇමතිවරුන් සඳහා වාහන මිලදී ගැනීම ඇතුළු කරුණු කිහිපයකට අනුමැතිය ඉල්ලමින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම පරිපූරක ඇස්තමේන්තු දෙක මගින් අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් ද ඇතුළත් 28 දෙනෙකු සඳහා වාහන මිලදී ගැනීම වෙනුවෙන් අනුමැතිය ඉල්ලූ මුදල රුපියල් හැත්තෑ නව කෝටි පහලොස් ලක්‍ෂයකි.

ඒ අතරට අමාත්‍යවරුන් 7ක්, රාජ්‍ය අමාත්‍යවරුන් 8ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12ක් සහ විපක්‍ෂ නායකවරයා ද ඇතුළත් ය.

2017 මාර්තු 24

අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 9ක් මිලදී ගැනීමට රුපියල් කෝටි 37ක පරිපූරක ඇස්තමේන්තුවක් එදින පාර්ලිමේන්තුව ඉදිරිපත් කළේ ය.

2017 මැයි 05

අමාත්‍යවරු 6 දෙනෙකු, ආණ්ඩුකාරවරයෙකු සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 32කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙම ඇස්තමේන්තුව මගින් වාහන මිලදී ගැනීමට යෝජනා කර ඇති අමාත්‍යවරුන් වන්නේ, විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය, ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය සහ ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා යි.

ඔවුන්ට රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් බැගින් වෙන් කර තිබේ.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යවරයාට වෙන්කර ඇති මුදල රුපියල් හාරකෝටි තිස් හත් ලක්ෂ පනස් දාහකි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යවරයාට රුපියල් දෙකෝටි අනූ අට ලක්ෂ අසූ එක් දහසක මුදලක් වෙන් කර තිබේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට වෙන්කර ඇති මුදල රුපියල් හාරකෝටි තිස්ලක්ෂයකි.

ඊට අමතරව අග්‍රාමාත්‍ය කාර්යාලයේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයාට රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් වෙන්කර තිබේ.

නැගෙනහිර ආණ්ඩුකාරවරයාට වෙන්කර ඇති මුදල රුපියල් හාරකෝටි තිස්ලක්ෂයකි.

ඒ අනූව ගෙවුණු මාස 06ක කාලය තුළ වාහන මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවල වටිනාකමෙහි එකතුව එකසිය හතලිස් අට කෝටි පහලොස් ලක්ෂයකි.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.