Header Ads

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ; අන්තිම භයානකයි. ..කියෙව්වම බඩ දඟලන්න ගත්තා.

අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ඇතැයි කියන  නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත  අන්තිම භයානක පනතක් බවත් එය කියැවිමෙන් පසු තමාගේ  මගේ බඩ දැඟළීමට පටන් ගත් බවත්  මහාචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කරයි. හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයකු වන ඔහු දැන් හොංකොං විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි.

ආණ්ඩුව මෙම පනත ගෙන ඒමට යන්නේ ත්‍රස්වාදය වැළැක්වීමේ පනත විස්ථාපනය කරනු පිනිසය. එය මෙම ආණ්ඩුව මෙරට ජනයාට සහ අන්තර් ජාතික ප්‍රජාවට දෙන ලද ප්‍රධාන පොරොන්දුවකි. ඒ අනුව කළ යුතු වූයේ අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල පනත් ගෙන එම වුවද දැන් ඉදිරිපත්ව ඇත්තේ තවත් මර්දනකාරී පනතකි. මෙම පනතෙහි ඇති භයානක ස්වභාවය පිළිබඳව මෙරට සිංහල කතා කරන සිවිල් සමාජයෙහි  මේතාක් කිසිදු සාකච්ජාවක් ඇතිවී නැත.

‘‘මෙය කෙටුම්පත් කළේ කෙසේදැයි කියා හිතා ගන්නටවත් මට බැහැ. එය ලංකාවේ කරපු එකක් වෙන්න බැහැ. එහි තිබෙන භාෂාව අපේ නොවෙයි” යැයි ඔහු වැඩි  දුරටත් කියා තිබේ.

ඔහුට අනුව එහි ඇති ප්‍රධානතම නපුර වන්නේ ඊට අදාළ වරදවල් පිළිබඳව ඇති අපැහැදිළි බවය.

කිහිප වරක් කියැවීමෙන් පසු පවා මෙම පනත මගින් අර්ථ දැක්වා ඇති අපරාධ තේරුම් ගැනීමට තමාට නොහැකිව සිටින බව කියන මහාචාර්ය ජයවික්‍රම මෙම පනත යටතේ එන අපරාධ තේරුම් ගැනීමට පොලිස් නිලධාරින් අසමත්වනු ඇතැයි ද ප්‍රකාශ කරයි.

ආණ්ඩුව ගෙනඒමට උත්සාහ දරන මෙම පනතද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම අනිසි ලෙස භාවිත කර මෙරට ජනයාගේ මානව හිමිකම් මර්දනයට යොදා ගත හැකි එකකි.මහාචාර්ය ජයවික්‍රම කියන්නේ මෙම කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති සිවිල් සහ දේශපාලන අයිතීන් පිලිබඳ අන්තර් ජාතික ප්‍රඥාප්තියට සහමුලින්ම වාගේ විරුද්ධව යන එකක් බවය.

මෙම පනත දෙස බලන විට එක්කෝ අප තවමත් යුද්ධයකට වෙනත් ප්‍රහාරයකට මුහුණ දී සිටින බවක් සිතෙන්නේ යැයි ඔහු තව දුරටත් පවසයි.

මෙම කෙටුම්පත් පනත පුද්ගලයින් අත් අඩංඟුවට ගැනීමේදී සහ රඳවා තැබීමේදී පොලීසියට, සන්නද්ද හමුදාවන්ට සහ වෙරල ආරක්ෂක නිලධාරීන්ට පුලුල් බලතල පවරා දෙයි.

පනත් කෙටුම්පතෙහි 4(4)  කොටස මෙසේ සඳහන් කරයි.“ ඕනෑම පොලිස් නිලධාරියකුට, සන්නද්ධ හමුදා සාමාජිකයකුට හෝ වෙරළ ආරක්ෂක නිලධාරියකුට පනත යටතේ එන වරදක් කරන හෝ කර ඇති හෝ කිරීමට කල්පනා කරමින් සිටින්නේ යැයි විශ්වාස කරන අයකු වරෙන්තුවක් නැතිව අත් අඩංඟුවට ගත හැකිය.’’

අත් අඩංඟුවට ගැනීම සඳහා අධිකරණ නිලධාරියකුගේ මැදිහත්වීම සහ වරෙන්තුවක් ලබා ගැනීම අහෝසි කළ විට එම බලය පොලිස් නිලධාරීන්, සන්නද්ධ හමුදා සාමාජිකයන් හෝ වෙරළ ආරක්ෂක නිලධාරීන් අතට පත්වේ.

එවැනි බලයක් ලැබුණ වි එකී නිලධාරීන් අත්තනෝමතිකව කටයුතු කිරීමේ අවස්ථාව ඉහළ යයි.

එමෙන්ම මෙම කෙටුම්පත අනුව එවැනි අත් අඩංඟුවට ගැනීමකදී සැකකරු අධිකරණය ඉදිරියට පැමිණවිය යුත්තේ පැය 24ක් ඉක්මයාමට පෙර නොව පැය 48ක් ඉක්මයෑමට පෙරය.

මතකයේ තබා ගත යුතු දෙය නම් පනත යටතට ගැනෙන වරදවල් ඉතා ලිහිල්ව සහ අපැහැදිළිව දක්වා තිබීම නිසා මෙම බලතල අනිසි ලෙස භාවිත වීමේ හැකියාව ඉතා ඉහළ බවයි.

එමෙන්ම මෙම කෙටුම්පතට අනුව සැකකරුවකු සති දෙකක් පුරා රඳවා ගැනීමේ නියෝගයක් ලබා දීමේ බලතල නියෝජ්‍ය පොලිස්පත්වවරුන් වෙත ලබා දෙනු ලැබේ. එමෙන්ම මෙම රඳවා ගැනීමේ නියෝගය සති අටක් දක්වා දිගු කිරීමට නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයකුට හැකිය. එමෙන්ම රඳවා තබන ස්ථානය තීරණය කිරීමේ අයිතියද ඔහු සතුය. ඒ අනුව සති අටක්ම සැකකුරුවකු පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීමට වුව මෙම පනත් කෙටුම්පත අවසර දෙයි.

මෙරට පොලීසිය විසින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම පුරුද්දක් වශයෙන් කරගෙන යන තත්වය තුළ මෙවැනි බලතල ලද හොත් කුමන තත්වයක් ඇතිවේදැයි සිතා ගැනීම දුෂ්කර නැත.

නව ව්‍යවස්වථාක් ගෙන ඒමට පෙර මෙවැනි මර්දන නීති අකුලා ගන්නා ලෙස ආණ්ඩුවට කියා සිටිය යුතු නැත්ද?

( මහාචාර්ය නිහාල් ජයවික්‍රම මහතාගේ අදහස් උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ඔබ්සෝවර් පුවත්පතිනි.)
(under the courtesy of lankaevoice news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.