Header Ads

විජේගෙන් මාලනිව ඉවත්කලා ඒ මතකය ක්ලීටස් කියන කථාව.


මං ඉගෙන ගත්තේ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ. ඉස්කෝලේ කාලෙදි නම් මං රඟපෑම් සම්බන්ධයෙන් මුකුත්ම කළේ නෑ. විශේෂයෙන්ම මං දක්ෂ වුණේ ක්‍රීඩාවට. මං පාපන්දු සෙල්ලම් කරපු කෙනෙක්. ඒක තමයි ඉතින් මගේ ආසම ක්‍රීඩාව. ඒත් අපේ ගෙදරින් මට කිව්වා “ඉගෙන ගන්නෙ නෑනේ. ඒ හින්දා ක්‍රීඩා කරන්න එපා” කියලා.

මං ඒ කාලේ ජිම්නාස්ටික්, කරාටේ එහෙම ඉගෙන ගෙන හිටියේ. ඉතින් ඉස්කෝලෙන් අයින් වෙලා, මං අපේ අක්කා විවාහ වෙලා ගිහින් හිටපු ගමට ගියා. අක්කගේ මහත්තයා බිස්නස් කළේ. මං එහේ ගියේ බිස්නස් ඉගෙන ගන්න. ඔය අතරෙදි මං දැක්කා, ඒ පැත්තේ ගමේ ළමයි මත්පැන්, දුම්වැටිවලට හරියට පුරුදු වෙලා ඉන්නවා කියලා. මං එහෙ ළමයි එකතු කරගෙන ජිම්නාස්ටික්, කරාටේ ඒ අයට පුරුදු කරන්න පටන් ගත්තා. ඒ අයගේ නරක පුරුද්ද මං ටිකෙන් ටික නතර කරලා දැම්මා.

මගේ තරුණ කාලේදී මං හරිම චණ්ඩියි. අසාධාරණයක් වුණත් වෙන දෙයක් වුණත් ඉතින් මං තමයි එතනට ඉස්සෙල්ලම යන්නේ. වලියක් ගියොත් එතැනට පැනලා ගහනවා, ගුටිකනවත් එක්ක. ඒත් අපේ තරුණ කාලේ ගොඩක් යාළුවෝ දුම්බොන්න, මත්පැන් බොන්න පුරුදු වෙලා හිටියා. ක්‍රීඩාව නිසා තිබුණු ඒ විනය නිසා මං ඒ කිසි දෙයක් කළේ නෑ. අනිත් අයගේ දුම්බීමටත් මං විරුද්ධ වෙච්ච කෙනෙක්. බීලා රණ්ඩු වෙන්න ගත්තොත් බෝතල් ටික සේරම කුඩු කරලා තමයි මං ඒක නතර කළේ.

මං පල්ලියත් එක්ක නිතරම සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. ඉතින් ඒ කාලේ ධීවර නාට්‍යක පිටපතක් ලියපු කෙනා මට පිටපත පෙන්නුවාම මං ප්‍රදේශයේ ළමයින් එකතු කරගෙන ඒ නාට්‍ය කළා. නාට්‍යයේ ප්‍රධාන නළුවා වුණේ මම. එතනින් තමයි මට රඟපාන්න ආසාවක් ඇති වුණේ.

මං අක්කලාගේ ගමේ හිටියට මගේ යාළුවෙක් වෙන සරත් විජේරත්නත් එක්ක නිතරම තොරතුරු හුවමාරු කරගත්තා ලියුම්වලින්. නාට්‍ය කරනවා කීවම සරත් මට කිව්වා කොළඹට ඇවිත් ගල්කිස්සේ විශ්ව කලා සරසවියට යමු කියලා. මං කොළඹට ආවෙම රඟපාන්න ලොකු වුවමනාවක් තිබුණු නිසා.

අපි දෙන්නා හැම සති අන්තෙම පන්තියට ගියා. ගුරුවරු විදිහට ජයසේකර අපොන්සු මහත්තයත් එක්ක තවත් අය හිටියා. ඉතින් ඔය පන්තියට උදයකාන්ත වර්ණකුලසූරිය එහෙමත් ආවා. එතනින් පස්සේ තමයි මං සුදර්ශියට යන්නේ.

මං ගැන, මගේ හඬ ගැන, ලියලා පළවැනියටම පත්තරයක ලිපියක් පළවෙන්නේ දස්කොන් කතාව අනුසාරයෙන් රඟපාපු ‘දිදස්කොන්’ වේදිකා නාට්‍යයෙන් පස්සේ. නවකයෙක් විදිහට මං ගැන ගොඩක් වර්ණනා කරලයි ඒ ලිපිය ලියල තිබුණේ. ඔය නාට්‍යයේ රේණුකා බාලසූරිය, චිත්‍රා කුමාරි කලුබෝවිල එහෙම රඟපාන්න හිටියා.

දැන් ඔය කාලෙ වෙද්දි මට රස්සාවක් තිබුණේ නෑ. ඔහෙ නාට්‍යවල රඟපපා හිටියා. අපේ අයියා කෙනෙක් මගෙන් ඇහුවා “දැන් ඔහොමද දිගටම ඉන්න හිතන්නේ? රස්සාවක් හොයා ගත්තොත් හොඳයි නේද?” කියලා. මං රඟපාන්න ආසයි කියලා උත්තර දුන්නම ඒ අයියා මාව එක්කරගෙන ගියේ තිස්ස අබේසේකර අයියා ගාවට. තිස්ස අයියා තමයි මාව ලෙස්ටර් ජේම්ස් මහත්තයා ගාවට යැව්වේ.

මේ වෙනකොට ලෙස්ටර් මහත්තයා වීර පුරන් අප්පු චිත්‍රපටය කරන්න ලෑස්ති වෙමිනුයි හිටියේ. ඉතින් එතුමා කිව්වා මාව ජචඵබ එකට ගන්නම් කියලා. මං ඉතින් ආස හින්දම හා කියලා හිටියා. ඔය අතරෙදි රංජන් මෙන්ඩිස් මාව ‘අපේක්ෂා’ චිත්‍රපටයටත් තෝරාගෙනයි හිටියේ. ඒත් මං පුරන් අප්පු එකට යද්දි රොබින් අයියා මගෙන් ඇහුවා “මොනවද කරන්න පුළුවන්? කරන්න පුළුවන් දේ කරලා පෙන්නන්න” කියලා. මං ක්‍රීඩා දන්නවා කීවාම සටන් කරන විදිහ එහෙම බලලා මාව එ්කේ හත් දෙනා අතරට තෝරා ගත්තා. සටන් කලාව කියන්නේ සිනමාවේදී විශේෂයෙන් සැලකිය යුතු දෙයක්. ඒක හරිම සංකීර්ණයි. කැමරාවට මුහුණ දෙන්නේ කොහොමද කියලා මට කියලා දුන්නේ රොබින් අයියා.

මං සිනමාවට ආවේ සටන් නළුවෙක් විදිහට. එතැනින් පස්සේ මට බොහෝ වෙලාවට ලැබුණේ ප්‍රතිවිරුද්ධ, දුෂ්ට චරිත. ඊට පස්සේ මං දිගටම චිත්‍රපටවලට සම්බන්ධ වුණා. පත්තරවලත් ලිපි පළ වුණා. ඒ වගේම සුනිල් සෝම පීරිස් මහත්තයාගේ චිත්‍රපටවලදී ගොඩක්ම මට ලැබුණේ ප්‍රතිවිරුද්ධ චරිත.

මගේ රංගන ජීවිතයේදී ‘විරාගය’, ‘කඩුල්ල’ කියන්නේ සන්ධිස්ථාන දෙකක්. එතනින් පස්සේ ‘සුබ ප්‍රාර්ථනා’ ටෙලි නාට්‍යය අදටත් රසිකා රසිකාවියන්ට මතකයි. චිත්ති චිත්‍රපටයට මට සරසවි සම්මාන උළෙලේ කුසලතා සම්මානයකුත් ලැබිලා තියෙනවා.

සිනමාවට ආවට මම වේදිකා නාට්‍ය අතහැරියේ නැහැ. මම ටෝනි රණසිංහ මහත්තයාගේ ජුලියස් සීසර් නාට්‍යයේ රඟපාද්දි නාට්‍ය බලන්න ආචාර්ය සරච්චන්ද්‍ර මහත්තයා ඇවිල්ලා හිටියා නිශ්ශංක දිද්දෙණිය මහත්තයාත් එක්ක. ඒ කාලේ මනමේ නාට්‍යට හිටියේ විජය නන්දසිරි. ඉතින් විජය ඒ වෙද්දි තවත් නාට්‍යයක රඟපාමින් ඉඳලා තියෙනවා. ඔහුගේ රංගනයේ යම් පසුබෑමක් නිසා මනමේ කුමාරයාගේ චරිතයට කෙනෙක් සරච්චන්ද්‍ර මහත්තයා හොයලා තියෙනවා. ජුලියස් සීසර් එකේ මගේ රඟපෑම දැකලා මට සරච්චන්ද්‍ර මහත්තයා කතා කළා. මගේ හඬ පරීක්ෂා කරලා එතුමා මාව නාට්‍යයට ගත්තා.

මගේ ඉවසීම, සැහැල්ලු ජීවිතය මේ හැම දෙයකම ආරම්භය සිද්ධ වෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයගේ හමුවීමෙන්. ඒ වගේම තමයි ධර්මසේන පතිරාජ අයියා. මේ දෙපළ තමයි මගේ ජීවිතේ වෙනස් කළේ පතිරාජ අයියා ‘කඩුල්ල’ රඟපාන්න මාව ගත්තම රසිකයෝ පවා මගේ ලොකු වෙනසක් දැක්කා. මේ දෙපළ මගේ ජීවිතයේදී මට ලැබුණු වස්තු දෙකක්.

ඉස්කෝලේ යන කාලෙදි මගේ මිත්‍රයෙක්ගෙ තාත්තගේ බෑන්ඩ් එකක මං සින්දු කිව්වා. මඟුල් ගෙවල්වල, තවත් උත්සවවලට ගිහින් සින්දු කිව්වම රු. 400ක් වගේ මුදලක් ඒ කාලෙදි ලැබුණා. පොකට් මනි හොයා ගත්තේ සින්දු කියලා තමයි. වෘත්තියක් විදිහට සින්දු කියන්න මං පටන් ගත්තේ නැතත් වීර උදාර, සිනාසෙන්න රත්තරං, සැබෑ මිතුරා, දෙවියෙක් වගේ කියන චිත්‍රපටවල සින්දු කිව්වා. විශේෂයෙන්ම මං විජය අයියගේ සින්දු කිව්වා. මං එතුමාගේ සින්දු කියනවා එතුමාට ඇහිලත් තියෙනවා. ගඟ අද්දර සින්දුවට මං එතුමාගෙන් ප්‍රශංසා ලබලත් තියෙනවා.

මං වැඩිපුරම රඟපාලා තියෙන්නේ අනෝජා, සබීතා එක්ක. මට ලොකු ආසාවක් තිබුණා මාලනී ෆොන්සේකා එක්ක ප්‍රධාන චරිතයක් කරන්න. ඒක ගැන හිතලම මං චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. මං විජය අයියටත් ආරාධනා කරද්දි විජය අයියා මට කීවේ මාලනී එක්ක රඟපාන්න ආසාව හින්දම එයා සුළු චරිතයක් රඟපාන්නම් කියලා. කොහොම හරි චිත්‍රපටය තිරගත වෙද්දි විජය අයියා නැති වෙලා හිටියේ. රසික රසිකාවියෝ ලියුම් එවද්දි මට බැනලත් ලියලා තිබුණා. ඒ මොකද, මට දුෂ්ට චරිතම රඟපාන්නලු. විජයට නොදී මං කොහොමද මාලනී එක්ක ප්‍රධාන චරිතය කරන්නේ කියලා ඔවුන් කිව්වා.

මම ජීවන් එක්ක රඟපාද්දි, රූගත කිරීම් ඉවර වුණාම ජීවන් මාව අවුස්සගෙන රණ්ඩු වෙනවා. අපි බිම පෙරළීගෙන ගහ ගන්නවා. ජීවන් කියන්නේ හරිම දැඟලිල්ල තියෙන නළුවෙක්. එක පාරක් අපි ගහගත්තු වෙලාවක මං ජීවන්ව උස්සලා ඇඳේ ගැහුවම ඇඳ දෙකට කඩාගෙන ගියා. ඒත් ජීවන්, “හරි දැන් උඹ ඇඳක් අරන් දීපන්” කියලා හිනා වෙවී හිටියා.

විරාගය රූගත කිරීම් තියන දවසක තමයි මට මංගල යෝජනාවකට මනමාලිව බලන්න යන්න තිබුණේ. ෂූටින් නොගිහිනුත් බෑ. මේක දැනගත්තු සනත් කළේ එදා රූගත කිරීම් මැදදී කලන්තේ හැදිලා වැටිලා රූගත කිරීම් කල්දා ගත්ත එක. ඊට පස්සේ තමයි මං මනමාලිව බලන්න ගියේ.

මට සමීප අය අතරින් රවීන්ද්‍ර, ජීවන්, සනත් තමයි ගොඩක්ම හිතවත්. ඒ අතරින් රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාට තියෙන්නේ ලොකු ගෞරවයක්. ඔහු වෙලාවකට මට මිත්‍රයෙක්, සහෝදරයෙක්, තාත්තා කෙනෙක් වගේ. ඒ වගේම තරහත් යන කෙනෙක්. ඒ වෙලාවට අපි හොඳටම බැනුම් අහනවා.

සිනමා ජීවිතයේදී මං හරිම සාර්ථකයි කියලා මට කියන්න පුළුවන්. ඒ කියන්නේ දක්ෂයි කියන එක නෙවෙයි. මං මේ ක්ෂේත්‍රයේදී කා එක්කවත් තරහ වෙලා නෑ. ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය, මං ගාව නෑ. මං හිතෙන්නේ කොච්චර රඟපෑවත් ප්‍රසිද්ධ වෙන්න වාසනාව තියෙන්න ඕන කියලයි. සිනමාවේදී අදටත් ජනප්‍රිය වුණු නළු නිළියෝ අඩුයි. මං සිනමාවේ අදටත් හොඳ නමක් දිනාගෙන ඉන්නේ මගේ මවුපියන්ගේ ශක්තියෙන්.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.