Header Ads

රටක් හැඩවු විජය කුමාරතුංග‍ ඝාතනය ගැන රියදුරු කළ හෙළිදරව්ව.


සිංහල සිනමාවේ ප්‍රමුඛතම නළුවකු සහ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ජාතික සංවිධායකවරයා ද වූ විජය කුමාරතුංග මහතා ඝාතනය වසර 26 ක්‌ සම්පූර්ණ විය.  

ඝාතනය කරන අවස්‌ථාව වන විට විජය කුමාරතුංග මහතා සිංහල සිනමාවේ ජනප්‍රියතම නළුවාට හිමි සරසවි සම්මානය හිමි කරගෙන සිටි අතර ඒ වන විට ඒ මහතා 43 වියෙහි පසු විය. 

විජය කුමාරතුංග මහතා ඝාතනය කළ දින උදය වරුවේ. හලාවතදී පැවති ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ පුත්තලම් දිස්‌ත්‍රික්‌ සම්මන්ත්‍රණයකට සහභාගි වී නිවසට පැමිණ ඇති අතර කිරුළපන තලකොටුව වත්තේ නිවස ඉදිරිපිට පිහිටි අඹගස යට කිහිප දෙනකු සමග කතාබස්‌ කරමින් සිටියදී දහවල් 12.30 ට පමණ ටී. 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇත. 

කොළඹ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්‌තර එම්. එස්‌. එල්. සල්ගාදු මහතා මරණ පරීක්‍ෂණයෙන් පසුව ප්‍රකාශ කර ඇත්තේ අනිවාර්යයෙන්ම මරණය ගෙන දෙන තුවාල බෙල්ලේ හා හිසේ ඇති වීමෙන් මරණය සිදු වී ඇති බවයි. 

විජය කුමාරතුංග මහතාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව ඒ මහතාගේ රියෑදුරා ලෙස කටයුතු කළ එච්. ඩී. දයාරත්න මහතා ලබාදී ඇති ප්‍රකාශය මෙසේය. 

විජය කුමාරතුංග මහතා නිවස අසල අඹගහයට කතා කරමින් සිටියදී රතු පාට යතුරු පැදියක්‌ නිවස අසල මාර්ගය දිගේ පැමිණියා. ඒ යතුරුපැදිය ආවේ කිරුළපන පැත්තේ සිටයි. ඒ යතුරුපැදියේ දෙදෙනකු සිටියා. එසේ ආ යතුරුපැදිය නිවස අසල මහා මාර්ගයේ නැවැත්වූ ඔවුන් දෙදෙනාගෙන් පසුපස ආසනයේ සිටි පුද්ගලයාගේ අතේ ස්‌වයංක්‍රීය තුවක්‌කුවක්‌ද තිබුණා. 

ඔහු ඒ ස්‌වයංක්‍රීය තුවක්‌කුවත් රැගෙන යතුරුපැදියෙන් බැස අප සිටි දෙසට ආවා.   ඔහු එසේ එනවාත් සමගම අප හා කතා කරමින් සිටි විජය කුමාරතුංග මහතා ඔහු දෙස බලන විටම ඔහු කුමාරතුංග මහතා දෙසට තුවක්‌කුව එක පාරටම එල්ල කොට පිටපිට වෙඩි තැබුවා. ඒ වෙඩි පහරවල් සමග කුමාරතුංග මහතා සිටි තැනම බිම ඇදවැටුණා. 

පසුව පොලිසිය විසින් සිදු කර ලද සෝදිසි කිරීම්වලදී කුමාරතුංග මහතාගේ නිවස ඉදිරිපිට තිබී වෙඩි තැබීම සඳහා යොදාගත් වෙඩි උණ්‌ඩ 9 ක්‌ සොයාගෙන ඇති අතර වෙඩි තැබීම සඳහා පැමිණි 90 ශ්‍රී 4320 අංක දරන සීඩී 200 වර්ගයේ හොණ්‌ඩා යතුරුපැදිය කළුබෝවිල රෝහල අසල අතහැර ගොස්‌ තිබියදී සොයාගෙන ඇත. එම යතුරුපැදිය ජනවාරි 18 වැනි දින නිකවැරටිය ඉහළගම තිඹිරියාවේදි පැහැරගත් එකක්‌ බව වැඩිදුරටත් සිදු කරන ලද පර්යේෂණවලදී තහවුරු වී ඇත. 

පෙබරවාරි 19 වැනි දින දිවයින පුවත්පත වාර්තා කර ඇත්තේ විජය ඝාතනයේ වගකීම ජනතා විමුක්‌ති පෙරමුණ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් භාරගත් බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ වාර්තාකරු ජෝaන් රෙටී මහතා කොළඹ ඉන්ටර් කොන්ටිනන්ටල් හෝටලයේදී ප්‍රකාශ කර ඇත්තේ, එම ව්‍යාපාරයේ ප්‍රකාශකයකු විසින් දුරකථනය ඔස්‌සේ තමාට ඒ බව ප්‍රකාශ කළ බවයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.