Header Ads

නිෂ්පාදකවරු පොලු තියද්දි ටෙනිසන්ගේ බිරිද කරපුදේ මෙන්න

ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු, වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකුද වනවා. පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසයි.

ඒ වගේම අපේ රටේ සිටින හාස්‍ය නළුවන් අතර සිටින ප්‍රවීණම නළුවන් ඉතා සුළු පිරිසක් තමයි ඉන්නේ. ඒ අතර කාලයක් නිහඬව සිටි ටෙනිසන් කුරේ ඔහුගේ ජීවිතයේ අමතක නොවන මතක දිනපතා පුවත්පතකට සඳහන් කර තිබෙනවා . එම සටහන පහතින් බලන්න.

අම්මයි, තාත්තයි ආගම් දෙකක.වෙසක් මාසය ලබනකොටම මම මගේ කුඩා කාලයට යන්නේ ඉබේටම වගෙයි. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් ගොඩක්ම කුඩා කාලයේ වු ඒවා. 

මගේ අම්මා බෞද්ධ කාන්තාවක්. ඇය හේරත් මුදියන්සේලාගේ රන්මැණිකා. නම වගේම ඇයත් හරිම සත්ගුණවත් කාන්තාවක්. තාත්තා කතෝලික භක්තිකයෙක් වුවත් කවදාවත් අපට ආගම් වශයෙන් තහංචි දමා නෑ. කලක් තාත්තා දේවගැතිවරයෙක් වෙන්න ඉගෙනගෙන තියෙනවා. 

එයට අමතරව ඔහු හොද ඉංග්‍රිසි සාහිත්‍යයට බෙහෙවින් ප්‍රියකළ පාඨකයෙක්. ඒ නිසාම වෙන්න ඇති ඉංග්‍රිසි සාහිත්‍යවේදියකුගේ නමේ ටෙනිසන් කියන කෑල්ලක් මගේ නමටත් දමා තියෙන්නේ. දේවගැතියෙක් වෙන්න ගිය තාත්තාගේ උගත්කම දුටු විදේශිකයෙක් තාත්තාට දේවගැතිවරයකු වන්න දීල නෑ.

චිත්‍ර ගුරුතුමාගෙන් ගුටි
අම්මා බෞද්ධ තාත්තා කතෝලික කියා කිසි දවසක අපේ ගෙදර කිසිම පුශ්නයක් වෙලා නෑ. ඒ දෙන්නම හොඳම ආයුෂ භුක්තිවිඳලා තමයි මිය ගියේ.දේවගැතිවරයෙක් වෙන්න ගිය තාත්තා මව සමග විවාහ වී උඩ පුස්සැල්ලාවේ ජීවත්ව තිබෙනවා. 

න් පසුව උඩ පුස්සැල්ලාවෙන් පිළියන්දලට පදිංචියට ආවා. මට මතකයි මගේ තාත්ත මමත්, අක්කාත්, මල්ලීත්, නංගිත්, සමග යහළුවෙක් වගේ තමයි වැඩ කරන්නේ. පොඩි කාලෙ අපි අම්මත් එක්ක පොහොය දාට පන්සල් යනවා. ඉරිදාට පල්ලි යනවා. 

එතකොට වයස අවුරුදු දහයක් විතර ඇති. තාත්තා වැඩකළ ගාමිණි බස් කම්පැණියෙන් බස් එකක් එවනවා අපිට වෙසක් බලන්න යන්න. අම්මත් ඉතින් අහළ පහළ කාන්තාවන් අඬගහගෙන වෙසක් බලන්න කොළඹ එනවා. 

තාත්තා කතෝලික භක්තිකයෙක් වුණා කියල කවදාවත් අපිට වෙසක් කූඩු හදන්න එපා කියල නෑ. අපිත් ඒ වගේ හොඳින් ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෑ වුණේ. ඔහු නිතරම අපිට මතක්කරන වර්ෂ 1611 කිං ලියර් කියන පොතේ වැකිය මට අදත් මතකයි.

වැරහැලි ඇඳගත් කළ සුළු වැරදි පවා පෙනේ.
සළු පිළි අභරණවලින් සැරසුණුකළ සියල්ල වැසේ.
අපරාධය සහ පාපය රනින් ආලේපකළ විට
යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදැනී දෙකඩ වේ.
නමුත් එය වැරහැලිවලින් වෙලූ කළ අභිකුණ්ඨකයාගේ සැරයටියටත් සිදුරු වේ.

මේ කියමන තමයි තාත්තා හැමදාමත් අපිට කිව්වේ. පාසල් යන කාලය වන විට අපි මොරටුවේ පදිචියට ආවා. කුඩා කාලයේ පල්ලියේ උත්සවවලට කෙටි නාට්‍ය රඟපාන්න අවස්ථාව ලැබුණා. 

මොරටුමුල්ල මෙතෝදිස්ත උසස් පාසල මගේ ජීවිතේට කවදාවත් අමතක වෙන්නෙ නෑ. එහි අපිට චිත්‍ර උගන්වන ගුරුවරයාගෙන් හැමදාමත් ගුටිකන ළමයෙක් මම. දවසක් චිත්‍ර ගුරුතුමා කීවා වැල්ලේ දැල් අදින දර්ශනයක් ඇදන් එන්න කියා. 

පහුවදා එනකොට මට අමතක වුණා. දැන් මොකද කරන්නේ යාළුවෙක්ගෙන් පාට කෑල්ලක් ඉල්ලගෙන පොල් ගස් දෙක තුනකුයි, කුරුල්ලො දෙක තුනකුයි, දැල වගේ පේන්න ඉරකුයි ඇන්දා. සර් ඇහුවා කෝ මේකෙ දැල් අදින මිනිස්සු කියලා. මම එක වරම ඒ කට්ටිය පාන්දරින්ම තේ බොන්න ගිහින් කිව්වා. එච්චරයි කියන්න හම්බවුණේ දුම් පිටවෙන්න ගුටි කෑවා.

රඟපෑමට හොඳ ප්‍රතිචාර ලැබුණා
ටික ටික උස් මහත් වෙන්න වෙන්න රඟපාන්න තියෙන ආසාවත් ටිකෙන් ටික වැඩිවුණා. පල්ලියෙ උත්සවවලදී නාට්‍යවල රඟපෑම නිසා ගමේ කට්ටිය කියන්න ගත්තා ටෙනීට හොඳට රඟපාන්න පුළුවන් කියා. චිත්‍රපට රඟපාන්න අවස්ථාව ලබාදෙන සම්මුඛ පරීක්ෂණවලට ගියත් මගේ පෙනුම දැකපු ගමන්ම හරියන්නෙ නෑ කියනව. 

මොකද ඒ කාලෙ කොණ්ඩෙ බොකුටු, සුදු තරුණයන්ට තමයි නළුවරම් ලැබුණෙ. අපිට ඒ සුදුසුකම තිබුණෙ නෑ අනිත් මොනව තිබුණත්. ඔය අතරෙදි මට මතකයි දවසක් තාත්තා කිව්වා උඹට රඟපාන්න ඕනෑනම් උඹට හරියන නාට්‍යක් රඟපාන්න කියා. 

තාත්තගෙ ඒ අවවාදය මට මගේ ජීවිතය වෙනස්කරගන්න බලපෑවා. අදටත් මම වැඩකරන්නෙ මට හරියන දේවල්. අපි වෙසක් එකට අපාය කියා වෙසක් නාට්‍යයක් හැදුවා. මිනිසුන්ට පවු කරන්න බිය ඇතිකරවීම තමයි ඒ නාට්‍යයෙන් දුන් ආදර්ශය. 

එහි ශබ්ද පරිපාලනය කළේත් මම. අදටත් මිනිසුන් කියනවා එදා අපාය බලන්න ආපු තරම් සෙනගක් අදටත් ඇවිත් නෑ කියල. එදා ‍ඒ නාට්‍ය බලන්න විශාල පිරිසක් පැමිණ සිටියා. මට බය නැතුවම කියන්න පුළුවන් මම අපායෙන් ආපු නළුවෙක් කියන එක. ‍

දෙමළ රසිකයන්ගේ නොමළ ආදරයක්
එදා මෙදාතුර මා රඟපෑ කිසිම චිත්‍රපටයකට හෝ වේදිකා නාට්‍යයකට කිසිම සම්මානයක් ලැබිලා නෑ. අඩුම තරමින් නම යෝජනාවෙලාවත් නෑ. එහෙත් මගේ නාට්‍ය නරඹා මා අගයකරන දෙමළ රසික රසිකාවියන් විශාල පිරිසක් සිටිනවා. 

පසුගිය අප්‍රේල් 30වෙනිදාත් ඔවුන්ගේ සම්මාන ප්‍රදාන උළෙලකදී මා කැඳවා විශේෂ සම්මානයකින් මා ඇගයීමට ලක්කළා. පසුගියදා සංස්කෘතික අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරියක වන අනුෂා ගෝකුල මහත්මියගේ මැදිහත්වීම මත කලාකරුවන් පහළොවකට කලාවට කළ සේවය අගයකොට උපහාර තිළිණ ප්‍රදානය කළා. 

එය සංවිධානය කළේ මම. එහිදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා හා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ලබා දුන් සහයෝගයට ස්තූතියි. සතුටුයි කියන්න මගේ බිරිඳත් මෙවැනි කාර්යයන්ට හදවතින්ම මට උදවුකරනවා.

නිෂ්පාදකවරුන්ගෙන් පොලු
සිනමා ‍ක්ෂේත්‍රයේදි මුහුණ දුන් සිදුවීම් නම් කොච්චරවත් තිබෙනවා. එදා මෙදා තුර හැම රසිකයෙක්ම මාව දන්නෙ හාස්‍ය නළුවෙක් කියා. සමහර අයට ටෙනිසන් කියන නම අහපුගමන්ම හිනායනවනේ, 

මේ නිසා මග තොටේදි මුහුණ දෙන්න වෙන සිදුවීම් අපමණයි. ඒවා හොඳ මෙන්ම නරකත් තියෙනවා. හැබැයි මට අමතක කරන්න බැරිම සිදුවීම තමයි නිෂ්පාදකවරු අපෙන් වැඩ අරන් සල්ලි නොදී කට්ටි පනින එක. එහෙම අය කවදාවත් අමතක වෙන්නෙ නෑ. අමතක කරන්නත් බෑ.

බිරිඳගෙන් උදවු
සමහර වෙලාවට අතීතය මතක්වුණහම අද මම කොතරම් හොඳ තැනක ඉන්නවද කියල හිතෙනව. හොඳ යහපත් බිරිඳක් ලැබුණා. ඇය හා විවාහ වීමත් සමග ටෙනිසන් කියන පුද්ගලයාගේ නාස්තිකාර ජීවිතේ අවසන් වුණා. ඇය මල්සිරි කුරේ. 

ඉබාගාතෙ ගිය මගේ ජීවිතේ හරි මාර්ගයට ගෙන මෙල්ලකරගත් තැනැත්තියක් ලෙසයි ඇයව මම දකින්නේ. දුව ලැබුණම පවුලක් කියන හැඟීම තවත් දැනුනා. ඇයත් දැන් දරු දෙදෙනකුගේ මවක්. මම අද සීයා. සිනමාවේ නම් තවමත් මගේ පෙම්වතිය වන්නෙ තරුණ ගෑණු ළමයි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.