Header Ads

ඇමසන් වනයේ සැඟවුණු රහස්


දකුණු ඇමරිකාවේ ඇන්දීස් කඳුවැටිය පාමුල හරිත වනයෙන් පොහොසත් පේරූ රාජ්‍යය   පිහිටා තිබෙනවා.

එතැන් සිට එම ඝන වනාන්තරය කිලෝමීටර් 3,700ක් පමණ ප්‍රදේශයක් පුරා කොළ පාට මුහුදක් මෙන් විහිදී ගොස් අත්ලාන්තික් සාගරයට එක් වෙයි. 

ඇමසන් වනාන්තරයේ පේරූ රාජ්‍යයට අයත් භූමියෙන් සියයට 60ක්ම වැසී තිබෙන්නේ ඝන වනාන්තරයෙනුයි. 

මෙහි ජීවත් වන්නේ ලෝක ජනගහනයෙන් අතළොස්සක් පමණයි. ඒ වුණත් අඩි 115ක් තරම් උස ගස්වලින් සමන්විත මෙම වනය තුළ නානාප්‍රකාර ශාක හා සත්ව විශේෂයන් විශාල සංඛ්‍යාවක් සෙවණ ලබනවා. 

පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත්කමක් උසුලන මෙම වනළැහැබ තුළ සමනල් විශේෂ 3,000කට වැඩියෙන් නිදහසේ පියාසර කරනවා. ඒ වගේම 4,000කට වැඩි ඕකිඩ් වර්ග වනයට මුසු කරන්නේ අමුතුම අලංකාරයක්. 

සර්ප විශේෂ 90කට වඩා වැඩියෙන් එහි දැකගත හැකියි. ගණන් බලා ඇති ආකාරයට විදුලි ආඳන් සහ පිරානා මසුන් ඇතුළු මත්ස්‍ය විශේෂ 2,500ක් එහි ගංගා ඇළදොළවල අස්සක් මුල්ලක් නෑර සැරිසරනවා. 

ඒ සියල්ලටම වඩා මේ වනය මැදින් ගලා යන දැවැන්ත ඇමසන් ගංගාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. එහි සමහර ස්ථානවලට වාර්ෂිකව ලැබෙන අඩි අටත් දහයත් අතර ප්‍රමාණයක වර්ෂාපතනය නිසා එහි ඇති අතු ගංගා 1,100 පිටාර ගලනවා. 

එමෙන්ම ශාකවලට ඉතා යෝග්‍ය ජල වාෂ්ප සහිත උණුසුම් පරිසරයක්ද වනය තුළ පවතිනවා. එහි පස නිසරුයි කියා සැලකුවත් ගස් කොළන් එතරම් සරුවට වැඩී තිබීම ඇත්තෙන්ම පුදුමයක්. 

ඉපැරණි පිය සටහන් එවැනි ඝන වනාන්තරයක් තුළ කවුරුන් හෝ ජීවත් වෙනවා කියා සිතන්න පුළුවන්ද? පුරාවිද්‍යාඥයන් පවසන ආකාරයට මීට ශතවර්ෂ ගණනාවකට පෙර මේ වනය තුළ මිලියන ගණනක්දෙනා ජීවත් වී තිබෙනවා. 

වර්තමානයේ ඇමසන් වනයේ පේරූ රාජ්‍යයට අයත් ප්‍රදේශයේ විවිධ ගෝත්‍ර 40කට වඩා වැඩියෙන් සිටින බවත් 3,00,000කට ආසන්න ජනගහනයක් එහි වාසය කරන බවත් ගණන් බලා තිබෙනවා. 

ඉන් ගෝත්‍ර 14ක් කෙටි කාලයකට නගරබද ජනයා සමඟ සබඳතා පවත්වා තිබුණත් දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම හුදෙකලා ජීවිතයක් ගත කරන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. 

මෙහි මුල් ජනාවාස බිහි වීමට පටන්ගත්තේ කුමන කාලයේදීද? මුල්ම සංක්‍රමණිකයන් පැමිණියේ උතුරු දිශාවෙන් බවත් එය සිදු වූයේ පොදු යුගයට ශතවර්ෂ ගණනාවකට පෙර බවත් විද්වතුන්ගේ මතයයි. 

හීවරෝ නමැති ගෝත්‍රය කැරිබියානු දූපත්වලින් පැමිණි බවත් ඇරවාක් නමැති ගෝත්‍රය වෙනිසියුලාවෙනුත් අනිකුත් ගෝත්‍ර බ්‍රසීලයේ නැඟෙනහිර දෙසින් හා පැරගුවේ දකුණු දෙසින් පැමිණි බවත් ඔවුන්ගේ විශ්වාසයයි. 

ඔවුන් එහි පදිංචි වූ පසු විවිධ ගෝත්‍ර නිශ්චිත ප්‍රදේශයක් තුළ දඩයම් කර ඇති බවට සාක්ෂි තිබෙනවා. පසට ගැළපෙන බෝග එනම් මඤ්ඤොක්කා, මාළුමිරිස් වර්ග, කෙසෙල් හා බඩඉරිඟු වැනි දෑ ඔවුන් වගා කර තිබෙනවා. 

ස්පාඤ්ඤ ජාතික ගවේෂකයෙක් නිරීක්ෂණය කළේ ඔවුන් ආහාර ගබඩා කිරීමේ පහසුකම් දියුණු කළ, සත්ව පාලන කටයුතුවල නිරත වූ සංවිධානාත්මක ජන පිරිසක් බවයි. 

ආදිවාසීන්ගේ පරිහානිය පසු කාලයේදී එනම් 16වන සහ 17වන සියවස අතරතුරේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් ඇමසන් වනයට අයත් පේරූ ප්‍රදේශයට කඩා වැදුණා. 

ඒත් එක්කම එහි සිටි ගෝත්‍රිකයන්ව කතෝලික ආගමට හරවාගැනීමේ අරමුණින් ජෙසුඉට් සහ ෆ්‍රැන්සිස්කන් නිකායන්ට අයත් මිෂනාරිවරුන්ද එහි පැමිණියා. ඔවුන් ඒ ප්‍රදේශය පිළිබඳ ඉතා කදිම සිතියම් නිර්මාණය කළ අතර යුරෝපියානුවන්ට එහි පැමිණීමට එමගින් මාර්ගය විවෘත කළා. 

එපමණක් නොව ඔවුන් බොහෝ ලෙඩ රෝගවලට හා විනාශයන්ටද මාර්ගය විවෘත කළා. උදාහරණයකට 1638දී පේරූහි උතුරු කෙළවරට වෙන්න පිහිටි දැන් මීනාස් ලෙස හඳුන්වන ප්‍රදේශයේ සිදු වූ දේ සලකා බලන්න. 

ඒ ප්‍රදේශයේ සිටි එකිනෙකාට වෛර කළ ගෝත්‍රයන්ට එක ප්‍රජාවක් ලෙස ජීවත් වෙන්න කියා මිෂනාරිවරුන් බලපෑම් කළා. ඊට හේතුව කුමක්ද? ඔවුන් නූගත් පහත් අය ලෙස සලකා ඔවුන්ගෙන් බලෙන් වැඩ ගැනීමටයි. 

ඒ අනුව එම ගෝත්‍රිකයන් යුරෝපියානුවන් සමඟ ගැවසීම හේතුවෙන් ඔවුන්ගෙන් දහස් ගණනක් සරම්ප, වසූරිය, ගලපටලය හා ලාදුරු වැනි රෝග බෝ වීම නිසා මිය ගියා. 

තවත් දහස් ගණනක් කුස ගින්නෙන් මිය ගියා. විවිධ ආගමික නිකායන් මගින් සිදු කළ එවන් ක්‍රියාවන් නිසා බොහෝ ගෝත්‍රිකයන් පලා ගිය අතර මිෂනාරිවරුන් බොහෝදෙනෙකුවද ඝාතනය කළා. 

එහි ප්‍රතිඵලයක් ලෙස 19වන සියවසේ මුල්භාගයේදී ඇමසන් ප්‍රදේශයේ ඉතුරු වුණේ එකම එක පූජකයෙක් පමණක් බව වාර්තා වෙනවා. අද දින ඔවුන් පැරණි සම්ප්‍රදායන් අනුගමනය කරමින් ජීවත් වන බොහෝ ගෝත්‍රිකයන්ව අදටත් එහි දැකගත හැකියි. 

උදාහරණයකට ඔවුන් තම නිවෙස් තනන්නේ උස් කණු මතයි. එසේ කරන්නේ වාර්ෂිකව සිදු වන ජලගැලීම් හා වනසතුන්ගෙන් එල්ල වන උවදුරු මඟ හරවාගැනීමටයි. 

කැලයට ගොස් ලී කඳන් කපාගෙන ඇවිත් නිවෙස් තනන ඔවුන් ඒවා ජලය නොරැඳෙන කොළ වර්ගයකින් හා පොල් අතු වැනි දේවලින් ආවරණය කරනවා. එම ගෝත්‍රිකයන් අඳින පළඳින ආකාරයත් විවිධාකාරයි. 

වනාන්තරයේ අභ්‍යන්තරයට වෙන්න ජීවත් වන පුරුෂයන් හා ස්ත්‍රීන් අමුඩය හෝ කොට සායක් හා සමාන දෙයක් ඇඳ සිටියි. ඔවුන්ගේ කුඩා දරුවන් සිටින්නේ නිර්වස්ත්‍රවයි. 

නමුත් නගරබද අය සමඟ සබඳතා පවත්වන සමහර ගෝත්‍රිකයන් බටහිර පන්නයට ඇඳ පැළඳීමට පුරුදු වී තිබෙනවා. සමහර අය තමන්ගේ නාසය හෝ කන් පෙති විද රවුම් කරාබු, සත්ව ඇටකටු හෝ පිහාටු පළඳිනවා. 

මායෝරූනා වැනි ගෝත්‍රිකයන් ඔවුන්ගේ කම්මුල් පවා විදිනවා. එමෙන්ම ටුකුනා සහ හීවාරෝ ගෝත්‍රිකයන් තමන්ගේ දත්, මට්ටමට පීරි ගහනවා. තවත් බොහෝ ගෝත්‍රිකයන් තමන්ගේ සමේ රෝම ඉවත් කර විවිධ රටාවන්ගෙන් යුත් පච්ච කොටා ගන්නවා. 

වනයේ ඇති දහස් ගණනක් වූ ඖෂධ පැළෑටි ගැනද ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. උදාහරණයකට සර්ප දෂ්ට කිරීම්, අතීසාරය සහ චර්ම රෝග වැනි තවත් බොහෝ රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා ඔවුන් එම පැළෑටි යොදාගන්නවා. 

බටහිර ජාතිකයන් රබර් ගස සොයාගැනීමට බොහෝ කාලයකට පෙර මෙහි වැසියන් එහි කිරි ගැන දැනුවත් වී සිටියා. තම භාජනවල සිදුරු වැසීම සඳහා මෙන්ම සෙල්ලම් කිරීමට රබර් බෝල සාදාගැනීමටත් ඒවා භාවිත කරනවා. ගස් කඳන්වලින් ඔවුන් කුඩා ඔරු සාදාගන්නවා. 

ඒ වගේම ගස් කඳක කොටසක් ගෙන එහි මැද හාරා බෙර සාදාගන්නා ඔවුන් දුර ඈත සිටින කෙනෙකුට යම් පණිවිඩ යවන්නේ ඒවා වාදනය කිරීමෙනුයි. 

මිථ්‍යා විශ්වාසයන් භූත ආත්ම රාත්‍රී කාලයේදී ඇමසන් වනාන්තරයේ සෑම තැනම සැරිසරන බවත් මිනිසුන්ව ලෙඩ කරන බවත් ගංගාවල සිටින දෙවිවරුන් මිනිසුන්ව බිලිගැනීමට රැකගෙන සිටින බවත් එම ගෝත්‍රිකයන්ගේ විශ්වාසයයි. 

උදාහරණයකට පේරූ ප්‍රදේශයේ සිටින අගුආරුනා ගෝත්‍රිකයන් ගැන සලකා බලන්න. ‘රණ ශූර පියා,’ ‘ජලයට අධිපති පියා,’ ‘භූමියේ මව,’ ‘හිරුගේ පියා’ සහ ‘යකැදුරන්ගේ පියා’ යන අදහස ඇති විවිධ දෙවිවරුන් පස්දෙනෙකුට ඔවුන් නමස්කාර කරනවා. 

ඔවුන් විශ්වාස කරන්නේ මිනිසුන් මිය ගිය පසු ඔවුන් ශාක හෝ සතුන් බවට පරිවර්තනය වන බවයි. ඒ නිසා භූත ආත්ම කෝප වෙයි යන බියෙන් යම් සතුන්ව දඩයම් කිරීමෙන් ඔවුන් වළකිනවා. 

එවැනි සතුන්ව දඩයම් කරන්නේ අත්‍යවශ්‍යම අවස්ථාවකදී පමණයි. ගෝත්‍රික ප්‍රජාවේ චාරිත්‍ර වාරිත්‍ර කටයුතු වැනි බොහෝ දේවල් අධීක්ෂණය කරන්නේ වෙදුන් ලෙස සලකන කට්ටඩියන් විසිනුයි. 

යම් පැළෑටියක් අනුභව කිරීමෙන් ඔවුන් මත් වන අතර සමහරුන් තම ලෙඩ සුව කරගැනීමට ඔවුන් වෙත පැමිණෙනවා. එපමණක්ද නොව තමන්ගේ අස්වැන්න හා දඩයම් කටයුතු කෙසේ වේවිද කියා දැනගැනීමටද ගෝත්‍රිකයන් පැමිණෙන්නේ ඔවුන් වෙතටයි. 

එය සදහටම නැති වී යයිද?   ඇමසන් වනාන්තරයේ වෙසෙන ජනයාට ඔවුන්ගේ භූමිය ඉතා වේගයෙන් අහිමි වෙමින් පවතිනවා. අධිවේගී මාර්ග ඉදි කිරීම් හා කොකෝවා වැනි බෝග වගාවන්ද ඊට හේතු වී තිබෙනවා. 

ඒ වගේම අනවසර ගස් කැපීම් හේතුවෙන්ද සෑම දිනකම පාපන්දු ක්‍රීඩාංගන 1,200කට සමාන භූමි ප්‍රදේශයක් ඇමසන් වනාන්තරයට අහිමි වෙනවා! 

ඒ විතරක් නෙවෙයි, ඇමසන් ගංගාව පෝෂණය කරන ඇළදොළවල්ද දූෂණය වෙමින් තිබෙන්නේ නීත්‍යානුකූලව සිදු කරන පතල් කැණීම් හා නීති විරෝධී ලෙස සිදු කෙරෙන කොකේන් ජාවාරම නිසයි. 

ඇත්තෙන්ම ඇමසන් වනාන්තරයේ ජීවත් වන ජනයා මුහුණ දෙමින් සිටින්නේ බයිබලයේ සඳහන් ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයකටයි.’ (2 තිමෝති 3:1-5) එම වනගත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වෙයිද? 

1 comment:

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.