Header Ads

ජනපති ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා හමුවේ දණ ගසයි ද?


ලෝක දේශපාලනයේ උණුසුම මේ වනවිට දෝලනය වන්නේ, ලෝක බලවතෙක් වන අමෙරිකාව සහ ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වන උතුරු කොරියාව අතරයි.

දෙරට නායකයින් අතර මෑත කාලීනව හට ගෙන තිබූ වාග් සංග්‍රාමය මේ වනවිට යම් තාක් දුරට සන්සුන් ස්වරූපයක් ගෙන තිබේ.

ඒ, මුලින් උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රකාශ නිකුත් කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගැනීමට කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කිරීමත් සමගිනි.

මෑත කාලීනව දෙපාර්ශවය එකිනෙකාට දැඩි ප්‍රකාශ නිකුත් කර ගනිමින් සිටි අතර උතුරු කොරියාවේ මිසයිල සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වහා ම නතර කරන ලෙසට අමෙරිකානු නායකයා උතුරු කොරියාවට දිගින්දිගට ම බලපෑම් කළේ ය.

එහෙත් උතුරු කොරියාව තරයේ කියා සිටියේ කිසි ලෙසකින් සිය න්‍යෂ්ටික සහ මිසයිල ක්‍රියාකාරකම් නතර නොකරන බව ත් අන්තර් මහාද්වීපිකව ප්‍රහාරයක් එල්ල කළ හැකි ආකාරයේ මිසයිල අත්හදා බැලීමක් සිදු කරන බව ත් ය.

ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකාව අවධාරණය කර සිටියේ, උතුරු කොරියාවට එවැනි ක්‍රියාවක් සඳහා කිසිදු ඉඩක් අවකාශයක් නොමැති බවයි.

එමෙන් ම උතුරු කොරියාව එවැන්නකට තැත් කළ හොත් ඉතා උතුරු කොරියාවට දරුණු ආකාරයේ ප්‍රතිඵලයක් භුක්ති විදීමට සිදු වනු ඇති බවට ද අමෙරිකාව උතුරු කොරියාවට අනතුරු අඟවා සිටිියේ ය.

කෙසේ  වෙතත් පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, උතුරු කෙරියානු නායකයා සමග තමා ගෞරවාන්විත හමු වීමකට සූදානම් බවයි.

එවැනි හමුවක් නිසි පරිදි සිදු වන්නේ නම් තමා නිසැකවම එවැන්නකට සූදානම් බව ත් එය තමාට ගෞරවයක් ලෙස ස සලකන බවත් ඔහු පවසා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත්තේ, පසුගිය ඉරිදා විදෙස් රූපවාහිනියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

එහිදී ඔහු  උතුරු කොරියානු නායකයා හඳුන්වා දි  ඇත්තේ, තරුණ වුවත් රට තුළ ඉතා දැඩි පුද්ගලයින් සමග ගනුදෙනු කරමින් සිටින බවයි.

තරුණ වයසේදී බලයට පත් වූ මොහුගෙන් බලය උදුරා ගැනීමට ඇතැමුන් උත්සාහ දැරීම පිළිබඳ සැකකයක් නොමැති බව ද ඩොනල් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත.

තව ද උතුරු කොරියානු නායකයා හොඳ සිහියෙන් ක්‍රියා නොකරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ අදහස කුමක් දැයි, මෙහිදී මාධ්‍යවේදියා විමසා ඇත.

ඊට පිළිතුරු ලෙස ට්‍රම්ප් පවසා ඇත්තේ, තමාට ඒ සම්බන්ධයෙන් අදහසක් නොමැති බව යි.

මේ අතර ධවල මන්දිරය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, කිම් ජොන් අන් – ට්‍රම්ප් හමුව සිදු වන්නේ නම් ඊට පෙර උතුරු කොරියාව බොහෝ කොන්දේසි සපුරා ලිය යුතු බවයි.

නමුත් අමෙරිකාව උතුරු කොරියාව හමුවේ ඉදිරිපත් කරන කොන්දේසි පිළිබඳ මෙතෙක් කරුණු හෙළි වී නොමැත.

ධවල මන්දිර ප්‍රකාශක ‍ෂෝන් ස්පයිසර් පැවසුවේ, උතුරු කොරියාවේ ප්‍රකෝපකාරී හැසිරීම තිත තැබීමක් බලාපෙරොත්තු වන බවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන සම්බන්ධනේ දැඩි වාග් ප්‍රහාරයන් එල්ල කළ ට්‍රම්ප් එකවරම සිය මතය වෙනසක් කර ගැනීම පිළිබඳ දේශපාලන විචාරකයෝ විවිධ මත පළ කරති.

වසර ආරම්භයේ සිට උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදු කළ අතර දිගින් දිගටම උතුරු කොරියාව සිදු කළ මෙම අත්අහදා බැලීම් නිසා අමෙරිකාව ඉතා නොසන්සුන් වූ අතර ලෝක ආරක්ෂාවට තර්ජණයක් බව පවසමින් මෙම අත්හදා බැලීම් වහාම අත්හිටුවන ලෙස අමෙරිකාව උතුරු කොරියාවට බල කර සිටියේ ය.

එහෙත් අමෙරිකාවේ වචන කනකට නොගත් උතුරු කොරියාව සිය අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කරන්නට විය.

උතුරු කොරියාව මේ වනවිට එක්සත් ජාතීන්ගේ සම්බාධක යටතේ ක්‍රියාත්මක රටක් වන අතර ආමරිකාව ද පසුගිය දා යළිත් වරක් උතුරු කොරියාවට පනවා තිබූ සම්භාධක තර කිරීමට  පියවර ගත්තේ,  උතුරු කොරියානු නායකයාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට පහර දීමක් වශයෙනි.

කෙතරම් බාධක පැමිණියත් සිය න්‍යෂ්ටික වැඩසටහන නතර නොකරන උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම සිදු කරන අතර ඔවුන්ගේ අවසන් මිසයිල අත්හදා බැලීම අසාර්ථක විය.

මෙම අත්හදා බැලීම් හමුවේ කලාපයේ නොසන්සුන්තාව උත්සන්න වූ අතර පසුව අමෙරිකාව කොරියානු කලාපයට යුද නැව් පිටත් කර හැරි අතර සිය මිත්‍ර රට වන දකුණු කොරියාව ආශ්‍රිතව මිසයිල ආරක්ෂ පද්ධතියක් ද ස්ථාපනය කළේ ය.

උතුරු කොරියාව ආමරිකානු ජනාධිපතිවරයාගේ සාකච්ඡා සඳහා වන සූදානම පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.