Header Ads

අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් වාහන ගමනා ගමනය ඇණහිට ඇති ප්‍රදේශ මෙන්න

අධික වර්ෂාව හා නායයාම් හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ගයන් ජලයෙන් යට වී ගමනා ගමනය අවහිර වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ රත්නපුර නගරය මේ වන විට අඩි 6ක් පමණ ජලයෙන් යට වී තිබීම හේතුවෙන් වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බව ය.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අවිස්සාවේල්ල – කරවනැල්ලෙන් දකුණට හැරී යටියන්තොට හරහා කිතුල්ගල, හැටන් හරහා බදුල්ල දක්වා ගමන් කළ හැකි ය.

මොරගහයට උඩ පාර, බස් නැවතුම්පොළ හරහා පැල්මඩුල්ල, ඕපනායක,බලංගොඩ, බණ්ඩාරවෙල හරහා ද බදුල්ල දක්වා ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මාතර පොලිස් කොට්ඨාසයේ මාතර – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ මාලිම්බඩ ප්‍රදේශය සහ අලිමංකඩ හන්දිය ජලයෙන් යට වීමෙන් වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

ජලයෙන් යට වීමෙන් අකුරැස්ස – පිටබැද්දර මාර්ගයේ ද, කඹුරුපිටිය – මාකඳුර මාර්ගයේ කඹුරුපිටිය හා මුලටියන ප්‍රදේශයේ ද වාහන ගමනා ගමනය ඇණහිට ඇති බව පොලීසිය නිවේදනය කරයි.

ගාල්ල පොලිස් කොට්ඨාසයේ නෙළුව, දෙල්ලව මාර්ගයේ, නෙළුව – මොරවක මාර්ගයේ සහ නෙළුව – උඩුගම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

කළුතර දකුණ පොලිස් වසමේ කළුතර කෙත්හේන මාර්ගයේ කළුතර නගර ශාලාව රඟහල ආශ්‍රිත ප්‍රදේශය හා පන්විල හන්දියේ සිට කෙත්හේන දෙසට කිලෝමීටර 4ක ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව පොලීසිය පවසයි.

මේ හේතුවෙන් එම මාර්ගයන්හි ද වාහන ගමනා ගමනය ඇණහිට ඇති අතර බදුරලිය පොලිස් වසමේ බදුරලිය, අත්වැලිගොඩ, දේවාලේ පාර මාර්ගයේ දේවාලය අසල ප්‍රදේශයේ ද වාහන ගමනා ගමනය ඇණහිට තිබේ.
බුලත්සිංහල පොලිස් වසමේ බුලත්සිංහල – බදුරලිය මාර්ගයේ පරගොඩ, ගල්කැටිය, මෝල්කාව, ඉහළ වෙල්ගම, යටිගම්පිටිය, කලවැල්ලෑව තෙබුවන මාර්ගයේ දියකඩුව, නාගහදොළ හා කලවැල්ලෑව යන ප්‍රදේශයන්හි ද වාහන ගමනා ගමනය ඇණහිට තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, දොඩංගොඩ පොලිස් වසමේ දොඩංගොඩ වෙල්ලත මාර්ගයේ කළදෝරුව, නෑහන්න ප්‍රදේශය සහ වැලිපැන්න පොලිස් වසමේ මතුගම, අලුත්ගම, වැලිපැන්න අධිවේගී මාර්ගයේ පිවිසුම අසල අලුත්ගම මතුගම මාර්ගයේ කොහිළවල යන ප්‍රදේශයන්හි වාහන ගමනා ගමනය ඇණහිට ඇති බව ය.

කළුතර උතුර පොලිස් වසමේ එතනමඩවල, ගංගාරාම ප්‍රදේශය කළුතර – හොරණ මාර්ගයේ පනාපිටිය ඇළ බන්ටෙක අසල මාර්ගය සහ තෙබුවන පොලිස් වසමේ තෙබුවන නෑබඩ මාර්ගය,තෙබුවන හන්දිය, වරකාගොඩ ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.