Header Ads

ලංකාවේ ඉබි වාර්තාව ලෝක වාර්තාවක්ද?

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයෙන් හමු වූයේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලතම තාරකා ඉබ්බා බව වනජීවී පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය විජිත පෙරේරා පවසනවා. ලුණුගම්වෙහෙරින් හමු වූ එම තාරකා ඉබ්බා කිලෝග්‍රෑම් 14 ක් තරම් බරකින් යුක්ත වන අතර මෙතරම් විශාල තාරකා ඉදිබුවකු සජීවී මට්ටමින් හමු වී ඇති බවට තවමත් තමන්ට වාර්තාවක් ලැබී නැතැයි වෛද්‍ය විජිත පෙරේරා පවසනවා.

මෙම තාරකා ඉදිබුවාගේ යට කටුව දිගින් සෙන්ටි මීටර් 45 ක් (45 cm) වන අතර ඉබි කටුවේ (carapace) උස සෙන්ටි මීටර් 22ක් (22 cm) වනවා. ලෝකයේ තාරකා ඉදිබුවන් වාර්තා වන්නේ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව යන රටවල් තුනෙන් පමණක් බවත් පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසුවා.

"මෙතෙක් හමු වී ඇති තාරකා ඉදිබුවන්ට වඩා මේ සතාගෙ බර සහ ප්‍රමාණය අනුව මෙවැනි ජීවියෙක් ගැන තවමත් අපට තොරතුරු ලැබිල නැහැ. අපි ඒ පිළිබඳව වාර්තා අධීක්ෂණය කරමිනුයි ඉන්නේ"

"සම්මත ක්‍රමය අනුව බලන විට මේ සතා පිරිමි ඉදිබුවෙක්. තාරකා ඉබ්බන්ගේ පිරිමි සතා ගැහැණු සතාට වැඩිය ප්‍රමාණයෙන් කුඩා වෙනවා. පිරිමි සතෙක් මෙතරම් විශාල වීමත් සුවිශේෂී දෙයක්. ඒ අනුව අපි හිතනවා මේ සතා ලොකු සම්පතක් කියලා. නිශ්චිතවම වයස නිර්ණය කරන්න බැහැ. සමහර විට වයස අවුරුදු හැටක් හැත්තෑවක් වෙන්නත් පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. මෙතෙක් නිදහසේ ජීවත් වූ ආකාරයට මේ සතාට තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලයත් නිදහසේ ඉන්න ලැබෙයි කියලා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට අපි විශ්වාස කරනවා"

ඉදිබුවාගේ නිදහසට බාධාවක් සිදු නොකොට එම ජීවියාට සිය නිදහස් පරිසරය තුළ ආරක්ෂාකාරීව ජීවත්වීම සඳහා රහසිගතභාවය රැකෙන ආකාරයට කටයුතු කළ යුතු බවත් පශු වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙනවා.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.