Header Ads

කෝච්චියේ ගමන් යනවනම් මේ ටිකත් දැනගෙනම යන්න

බස් එකේ යනවට වඩා කෝච්චියේ යනඑක පහසුයි කියල තමයි හැමෝම කියන්නේ . ඒක ඉතින් ඇත්ත තමයි . ට්‍රැෆික් නෑ , තද බද නෑ , යෑමක් තමයි තියෙන්නේ . ඔහොම කෝච්චියේ ගියාට කෝච්චියේ ගොඩක් දේවල් ගැන අපි හරියටම දන්නේ නෑ . ඉතින් අපි ටිකක් ඒ ගැන හොයල බැලුවා..

01) මුල්ම දුම්රිය කවදා ,කොතැනින් කොතැනටද ?
1864 දෙසැම්බර් 27 වෙනිදා , පිටකොටුවේ අත්‍යන්ත දුම්රිය ස්ථානයේ ඉඳලා , අඹේපුස්ස දක්වා තමයි ප්‍රථම දුම්රිය ගමන් කරලා තියෙන්නේ . අද නම් මේ පිටකොටුව අත්‍යන්ත දුම්රිය ස්ථානය කෞතුකාගරයක්ලු .

02) දවසකට යකඩ යක්කු කී දෙනෙක් දුවනවද ?
දිනකට දුම්රිය 335 ක් විතර ධාවනය වෙනවා කියල ඔබ දන්නවද ? සති අන්තයට මේ ගණන ටිකක් අඩු වෙන්න පුළුවන් . ඒ වගේම උත්සව කාලයට , දීර්ඝ සති අන්තයට වගේ විශේෂ හේතු මත දුම්රිය ගමන්වාර වැඩිවෙන නිසාත් මෙම සංඛ්‍යාව වෙනස් වෙන්න පුළුවන් .

03) වැඩියෙන්ම දුම්රිය ගමන් කරන්නේ කොහෙද ?
මෙහෙම ඇහුවම ඔබ කියයි රේල් පාරෙනේ කියලා . ඔව් . ඒක හරි . දන්නවද වැඩිම දුම්රිය වාර යෙදෙන්නේ නගරබද දුම්රිය මාර්ගවල . ඒ කියන්නේ කෙටි දුර ධාවනය . මොකද ගොඩක් වෙලාවට මාර්ග තද බදය අධිකව තියෙද්දී , බොහෝ පිරිස් ගමන් පහසුව සඳහා යොදාගන්නේ දුම්රිය . හැබැයි විශේෂ අවස්ථා අනුව මේ තත්ත්වය වෙනස් වෙනවා .

04) ටිකට් එක ඇයි ඒ පාට ?
සාමාන්‍යයෙන් කෝච්චි ටිකට් එක දම් පාටට හුරු රෝස පාටයි . ඒ වගේම තැඹිලි පාටට හුරු ලස්සන පාට ටිකට් එකකුත් තියෙනවා .

මෙහෙම ලස්සන පාටට ටිකට් මුද්‍රණය කරන්නේ කැපිලා පේන්න ඕන නිසා . එතකොට රාත්‍රියකදී වුණත් පැහැදිලිව පේනවනේ . ඒ වගේම මේ ටිකට් එකට අංකයකුයි , ටිකට් එකේ හරි මැදින් හරස් අතට ඉරි තුනකුයි තියෙනවා . ඒක තියෙන්නේ අනන්‍යතාව තහවුරු කරන්න . එතකොට කාටවත් ව්‍යාජ ලෙස ටිකට් පත් මුද්‍රණය කරන්න බැහැ. සල්ලි දීල ටිකට් එක ගත්තට ඔය ගැන දැනගෙන හිටියේ නෑනේ නේද ?


ඒ වගේම ඔය ටිකට් ගන්නේ පන්ති අනුවනේ. 1,2,3 කියල පන්ති තුනක් තියෙනවා .පළමු පන්තියට කියන්නේ ,විශේෂ පන්තිය කියලා . ටිකට් එකේ ගාන ටිකක් වැඩියි .ඒ වගේම පහසුකම් හොඳයි . දෙවන පන්තියට කියන්නේ මධ්‍යම පන්තිය කියලා . නමින්ම තේරෙනවනේ පහසුකම් අඩුත් නෑ, වැඩිත් නෑ . එතකොට තුන්වෙනි පන්තියට කියන්නේ සකසුරුවම් පන්තිය කියලා. ටිකක් අඩු මුදලක් දීලා ටිකට් එක ගත්තම තමයි මේ පන්තියේ යන්න වෙන්නේ .

05) අනතුරක් වුණොත් රියදුරුට නිවාඩුද?
ඔව් . රියදුරුට රාජකාරි නිවාඩුවක් ලැබෙනවා . මොකද … මරණ පරීක්ණෂය සඳහා සහභාගී වෙලා කටඋත්තර ලබා දීල එන්න . ආයෙම එනකොට පරීක්ෂණයට සහභාගී වුණා කියල ලියුමකුත් අරගෙන තමයි එන්න ඕන . දුම්රියට හැපිලා , පැනලා මැරුණා කියලා , දවසකට මරණ තුන හතරක් වාර්තාවෙන නිසා , දැන් ඒ අයට ඒ දේවල් වලදී වැඩිය කම්පාවට පත් වෙන්නේ නෑලු . ජීවිතේ අනිත්‍ය සිහිපත් කරලා වැඩ කරනවා කියලා තමයි ගමනා ගමන අධිකාරි ,විජය සමරසිංහ මහත්තයා අපිට කිව්වේ . ඔව් ඉතින් , එහෙම හිතලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ?

06) මේ ගැන නම් ඔබත් නොදන්නවා ඇති
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ගබඩා කාමරයක් තියෙනවා . මේ ගබඩා කාමරය වෙන්වෙලා තියෙන්නේ මගී ජනතාව වෙනුවෙන් . ඒ කියන්නේ ….. කොටුවට එන ඔබ අතේ ලොකු බෑගයක් තියෙනවා කියලා හිතමු . ඔබට එයත් රැගෙන ඔබේ අනෙකුත් වුවමනා සඳහා යන්න අපහසුයි නම් ඒ ගබඩා කාමරයට ගිහින් බෑගය තියන්න පුළුවන් . පුංචි පුංචි රැඳවුම් සේප්පු මේ කාමරයේ තියෙනවා . 

ඔබේ බෑගය තිව්වම අදාළ යතුර ඔබට ලැබෙනවා . ඔබ ආයෙමත් ආවම ඒ යතුර දීලා ඔබේ බෑගය ගන්න පුළුවන් . ඒක මගී ඔබට ලොකු පහසුවක් .
බොහෝ විදේශිකයෝ නැවතත් තම රටවලට යද්දී මේ පහසුකම ලබාගන්නවා කියලත් විජය සමරසිංහ මහත්මයා අපිට කිව්වා . මේ කාමරය හදුන්වන්නේ මාර්ගෝපකරණ කාමරය කියලා . මේ පහසුකම දැනට තියෙන්නේ නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ විතරයි . ඉදිරියේදී බදුල්ල ,මහනුවර ,යාපනය කියන දුම්රිය ස්ථානවලත් ආරම්භ කරනවා කියලා තමයි කියන්නේ .

ඒ වගේම , කොළඹ කොටුව දුම්රිය ස්ථානයේත් , මහනුවර , බදුල්ල , මඩකලපුව , ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානවලත් පිළිසැකසුම් කාමරය කියලා , කාමරයක් තියෙනවා . ඔබ දුර බැහැර ඉදලා අවාම , මුහුණ එහෙම සෝදගෙන , ලෑස්තිවෙලා යන්න ඕන නම් මෙන්න මේ පිළිසැකසුම් කාමරයට යන්න පුළුවන් . ඒක දුර බැහැර ඉදලා එන මගී ඔබට ලොකු පහසුවක් වෙයි

. ඉතින් ….. මේ තොරතුරු වලින් ගොඩක් දේවල් ඔබ නොදන්නවා වෙන්න පුළුවන් .මේ ගැන අපිට කිව්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරි , විජය සමරසිංහ මහත්තයාටත් අපේ ස්තුතිය .
– සෞම්‍යා වික්‍රමසිංහ-
(under the courtesy of harigossip news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.