Header Ads

මහජනයාට තහනම් කලාපයක් වෙච්ච ශ්වේත වාලුකා කාන්තාරයේ රහස්.


ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ දකින්න ලැබෙන අරුම පුදුම කාන්තාරයක් තමයි White Sands National Monument එහෙම නැත්නම් ශ්වේත වාලුකා කාන්තාරය. මෙම කාන්තාරයේ තියෙන විශේෂත්වය තමයි මුළු කාන්තාර භූමියම ඉතා අලංකාර සුදෝ සුදු පැහැයක් ගැනීම.

එහෙම වෙන්න හේතුව තමයි මේ කාන්තාරයේ තියෙන වැලි නිර්මාණය වෙලා තියෙන්නේ ජිප්සම් (gypsum) කියන ඛනිජයෙන් වීම. ජිප්සම් කිව්වේ ඔයාල හොඳටම දන්න බ්ලැක් බෝර්ඩ් , චෝක් , plaster of paris වගේ දේවල් හදන්න ගන්න ජිප්සම්ම තමයි. එතකොට ඔය ලෝකයේ අනිත් කාන්තාර වල තියෙන වැලි තියෙනවා නේද ? ඒවා හැදිලා තියෙන්නේ සිලිකා කියන ඛනිජයෙන්.

එතකොට කොහොමද මේ කාන්තාරයට ජිප්සම් ලැබෙන්නේ. ඒක වෙන්නේ මෙහෙමයි ශ්වේත වාලුකා කාන්තාරයට ක්‍රම දෙකකින් ජිප්සම් ලැබෙනවා. එකක් තමයි පිප්සම් මිශ්‍ර වැසි ජලයෙන් අනෙක් ක්‍රමය තමයි කාන්තාර මායිමේ පිහිටා ඇති ජලාශයකින්. ජිප්සම් ඛනිජ ලුණු මෙන් ජලයේ දියවෙන සුළුයි. සාමාන්‍යයෙන් වෙන්නේ පරිසරයේ ඇති ජිප්සම් වැසි ජලය සමඟ මුසුවී ගංගා ඇළදොළ හරහා මුහුදට ගලා යාමයි.

ශ්වේත වාලුකා කාන්තාරය පිහිටලා තියෙන්නේ පිප්සම් ඛනිජයෙන් අතිශය පොහොසත් කදු පන්තීන් දෙකකින් වටවූ ටුලරෝසා (Tularosa Basin) නමින් හැඳින්වෙන ද්‍රෝනියකයි. මේ ද්‍රෝණියේ පිහිටීම ගැන හරියටම කිව්වොත් මේක නිකන් බේසමක පතුල වගෙයි. ඉතින් මේ ප්‍රදේශයට වර්ෂාව ලැබුනහම ජිප්සම් මිශ්‍ර ජලය පිටතට යාමට මාර්ගයක් නොමැති වීමෙන් මෙම පහත් බිමේ එක් රැස්වීමක් සිදු වෙනවා.

එහෙම එක්රැස් වුනු ජලයෙන් කොටසක් පොළව අභ්‍යන්තරයට කාන්දු වන අතර තවත් කොටසක් කාන්තරයේ අධික තාපය නිසා වාශ්පිකරනයටත් ලක් වෙනවා. ඉතින් එකේ අවසාන ප්‍රථිපලය වෙන්නේ ද්‍රෝණියේ ජිප්සම් ස්ඵටික එකතු වීමයි. මේක නිකන් හරියට ලුණු ලේවායක සිද්ධ වෙන ක්‍රියාවලිය වගෙයි. ඒ වගේම පොළවට කාන්දු වූ ජලය කාන්තාර භුමියේ පහත්ම ස්ථානයේ ඇති Lucero නම් ජලාශයකට එක් රැස් වී වාෂ්පීකරණය වීමෙන්ද ජිප්සම් ස්ඵටික නිර්මාණය වෙනවා. ඒවා සුළඟ මගින් මෙම කාන්තාර භූමිය වෙත රැගෙන ඒමත් සිද්ධ වෙනවා.

ඉතින් මේ ක්‍රියාවලිය අවුරුදු දස දහස් ගානක් තිස්සේ සිද්ධ වෙලා තමයි මේ අලංකාර සුදෝ සුදු කාන්තාරය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ශ්වේත වාලුකා කාන්තාරයේ විශාලත්වය කොච්චර විතර කියලද හිතන්නේ ? වර්ග කිලෝමීටර් 710 ක් ඒ වගේම මේ අසිරිමත් භූමිය ලොව විශාලතම ජිප්සම් තැම්පතුවද වෙනවා.

ශ්වේත වාලුකා කාන්තාරයේ සුන්දරත්වය අතර සැඟවුණු අමිහිරි අතීතයකුත් නැතුවාම නොවෙයි. දෙවන ලෝක යුධ සමයේ ලොව ප්‍රථම න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම සිදුකලේ ශ්වේත වාලුකා කාන්තාර භුමියේදීයි. වර්තමානයේද කාන්තාරයේ කොටසක් ඇමෙරිකා එක්සත් ජනපද හමුදා විසින් මිසයිල අත්හදා බැලීම සඳහා යොදාගන්නවා. ඒ ප්‍රදේශය මහජනයාට තහනම් කලාපයක්.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.