Header Ads

ලන්ඩන් නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්ත ප්‍රහාර: එක් අයෙකු මරුට: 20 කට අධික පිරිසකට තුවාල

එංගලන්තයේ මධ්‍යම ලන්ඩනයේ ස්ථාන කිහිපයකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලන්ඩන් බ්‍රිජ් සහ බරෝ මාකට් යන ස්ථාන වල සිටි පුද්ගලයින් එම ප්‍රහාරයන්ට ලක්ව ඇති බව ය.

ලන්ඩන් බ්‍රිජ් හෙවත් ලන්ඩන් පාලම අසල සිටි පදිකයින් වෙත සුදු පැහැති වෑන් රථයක් වේගයෙන් ධාවනය කිරීමෙන් ඔවුන් තුවාල ලබා තිබේ.

බරෝ වෙළඳපොළ අසල පිහිටි අවන්හලකට සහ තැබෑරුමක සිටි පුද්ගලයින් වෙත දරුණු පිහි ඇනුම් ප්‍රහාර එල්ල වී ඇතැයි ද එංගලන්ත බලධාරීන් සඳහන් කළේය.

මෙය සිදුවූයේ එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණය ලබන 08 වැනි දින පැවැත්වීමට නියමිතව තිබියදී ය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝබ්රා හදීසි කමිටුව සමඟ හමුවක් කැඳවීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පියවර ගැනිණි.

ආරක්ෂක කටයුතු මධ්‍යයේ ලන්ඩන් පාලම, සවුත්වෝක් පාලම සහ ලන්ඩන් බ්‍රිජ් දුම්රිය ස්ථානය වසා දමා ඇති අතර බරෝ ඉහළ වීදිය, පහළ තේම්ස් වීදිය ඇතුළු ඇතැම් මාර්ගවල වාහන ධාවනය තාවකාලිකව අවහිර කර තිබේ.

ආයුධ සන්නද්ධ පුද්ගලයින් තුන්දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි බ්‍රිතාන්‍ය පොලීසිය පවසයි.

මේ අතර මීට සති දෙකකට පෙර සුපිරි අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වූ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවද මීට පෙර වාර්තා විය.






No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.