Header Ads

දැවැන්ත පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2241 දෙනෙකු අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 595 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2241 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 3.00 දක්වා ක්‍රියාත්මක කළ මෙහෙයුම සඳහා පොලිස් ස්ථාන 481ක නිලධාරීන් 11,558 දෙනෙකු සහභාගී වූ බව ය.

පැය 4ක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සාධාරණ හේතු දැක්වීමකින් තොරව රාත්‍රී කාලයේ නිදැල්ලේ හැසිරෙමින් සිටි පුද්ගලයින් 934 දෙනෙකු, වරෙන්තුකරුවන් 595 දෙනෙකු, විවිධ අපරාධ සඳහා පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 70 දෙනෙකු අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වේ.

මීට අමතරව හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් 94 දෙනෙකු, ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 372 දෙනෙකු හා මත්පැන් සන්තකයේ තබාගෙන සිටි 176 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතරට අයත් ය.

පොලීසිය පැවසුවේ, අපරාධ නිවාරණයට මෙන් ම රිය අනතුරු නිවාරණය සම්බන්ධයෙන් ද මෙම මෙහෙයුම තුළ විශේෂ අවධානය යොමු කළ බව ය.

ඒ අනුව පැය 4ක මෙහෙයුම් කාලය තුළ බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයින් 489 දෙනෙකු, රියැදුරු බලපත්‍ර නොමැති පුද්ගලයින් 305 දෙනෙකු, අනතුරුදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 179 දෙනෙකු නීතියේ රැහැනට කොටු කර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.