Header Ads

ඉතිහාසයේ විකෘතිම අමාත්‍ය ධූර විෂය පතයන් බෙදු හැටි මෙන්න

මෑතකදී වෙනස් වූ අමාත්‍ය ධූරවලට අදාළ විෂයන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය, සංවර්ධන කාර්යභාර, විදේශ කටයුතු, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ යන අමාත්‍යවරුන්ට අයත් විෂයන් මෙම ගැසට් නිවේදනයට ඇතුළත් ය.

ගැසට් නිවේදනයට අනුව මීට පෙර මුදල් අමාත්‍යංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශයේ රවි කරුණානායක අමාත්‍යවරයා යටතට පත් කර තිබේ.

එම ආයතන දෙකට අමතරව විදේශ රාජ්‍ය දූත මණ්ඩල, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය යන ආයතන 3 ද එම අමාත්‍යංශය යටතට අයත් ය.

මංගල සමරවීර මහතාට අයත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ආයතන 33ක් ඇතුළත් ය.

ශ්‍රී ලංකා මහ බැංකුව හෝ රාජ්‍ය බැංකු එම විෂයට අයත් නොවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමෙන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් එම අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

මහා භාණ්ඩාගාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අයත් වන්නේ ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට ය.

ජාතික ප්‍රතිපත්ති සැලැස්මට අනුකූල වූ රාජ්‍ය මූල්‍ය බදුකරණය, සාර්ව මූල්‍ය කළමනාකරණයට අදාළ වැඩසටහන් සම්පාදනය කිරීම පසුවිපරම හා ඇගයීම මුදල් අමාත්‍යංශයට අයත් වුවද ජාතික වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීම පැවරී ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට අයත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට ය.

මීට අමතරව ආදායම් නිකුත් කිරීම හා වියදම් පසුවිපරම් කිරීම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති සැකසීම ඇතුළු කාර්යයන් අග්‍රාමාත්‍යවරයාගේ විෂයට අයත් ය.

මෙම ගැසට් නිවේදනයට අනුව සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල අලුතින් පත් කළ සංවර්ධන කාර්ය භාර අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

මීට පෙර එම විෂය අයත්ව තිබුණේ, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයට ය.

කන්තලේ සීනි සමාගම තවදුරටත් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාට අයත් ආයතනයක් ලෙස ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ඉවත් කර රංජිත් මද්දුමබණ්ඩාර මහතාට අයත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට පවරා ඇති බව ය.

එස්.බී. දිසානායක අමාත්‍යවරයාගේ සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශය යටතට කන්ද උඩරට සුරැකීම හා සංවර්ධනය පවරා තිබේ.

ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට අයත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශයට සබරගමුව පළාතේ විශේෂ ව්‍යාපෘති සැලසුම් කිරීම පවරා ඇති බව ද ගැසට් නිවේදනයේ සඳහන් ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.