Header Ads

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹූ වැඩ වර්ජනය අඛණ්ඩව

වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය ඒ බව ප්‍රකාශ කළේ, දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

සරසවි සිසුන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය දක්වන බව පවසමින් අද පෙරවරු 8.00ට වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූහ.

නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් රෝගීන් සඳහන් කළේ, වෛද්‍යවරුන් නොමැති වීම හේතුවෙන් තමන්ට ප්‍රතිකාර නොලබා ආපසු හැරී යාමට සිදුවූ බව ය.

සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුලු වුණු සරසවි සිසුන් පළවා හැරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 සිට එලෙස වැඩවර්ජනයක නිරත වනවා.

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වූහ.

ඒ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ පුරහල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර ය.

බලහත්කාරයෙන් ගේට්ටු විවෘත කර ගනිමින් අමාත්‍යංශය තුළට කඩා වැදුණු සිසුන්, එහි සේවකයින්ට තම කටයුතු කරගෙන යාමට නොහැකි වන පරිදි ක්‍රියා කළ අතර ඔවුන් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපලවලට ද අලාභ හානි සිදු විය.

අනතුරුව කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ සිසුන් පළවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය.

සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණු සංඛ්‍යාව 96ක්.

අදාළ විරෝධතාව සංවිධාන කළේ, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යි.

මේ අතර සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දේපලවලට දැඩි හානි සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශය පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ සරසවි සිසුන් පළවා හැරීමේදී තුවාල ලැබූ සිසුන් 62 දෙදෙනෙක් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ය.

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් 3 දෙනෙක් සහ පොලිස් නිලධාරීන් 2 දෙදෙනෙක් ද තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති.

මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.