Header Ads

සිසු ගැටුම - අලාභය කෝටියයි - ශිෂ්‍යන්ට පහරදීමට එරෙහි වෛද්‍ය වර්ජනය ඉදිරියට !!!


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක ය.

ඊයේ පෙරවරු 8.00ට වෛද්‍ය වැඩ වර්ජනය ආරම්භ වූයේ, සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු සරසවි සිසුන්ට පහර දීමේ සිද්ධියට විරෝධය පළ කරමිනි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ, සයිටම් ආයතනය ජනසතු කිරීම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීම, සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී විරෝධතාවයේ නිරත වූ සරසවි සිසුන්ට සිදු කළ ප්‍රහාරය හෙළා දැකීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බව ය.

ළමා රෝහල්, කාන්තා රෝහල් සහ මහරගම පිළිකා රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ ය.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ, වැඩ වර්ජනය සිදු කෙරෙන රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව ය.

ඩෙංගු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීම ද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වෛද්‍ය නලින්ද හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී සිදු කළ පහර දීම හේතුවෙන් සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ 100කට අධික බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ඊයේ අදාළ අලාභය ගණනය කිරීම සිදු කළ බව ය.

මේ අතර අලාභ හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන පූජ්‍ය ටැම්පිටියේ සුගතාන්නද හිමියන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, උන්වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

එම ස්ථානයට පැමිණි මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි වීරවර්ධන මහත්මිය සැකකාර භික්ෂූන් වහන්සේ පරික්ෂා කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.