Header Ads

කලාවැවේ සැගවුන මේ කතන්දරේ ඔබත් අනිවාර්යෙන් දැනගන්න


අනුරාධපුර වන්දනාවේ යන සමහරු එන ගමන් කලාවැව් බැම්මට පැමිණ වැව් දියේ නා සැනහෙන්නට අමතක කරන්නේ නෑ.  ඒ වගේම කොළඹ අපි ගෝල්පේස් යනවා වගේ රජරට ජනතාව නිතරම යන්නෙත් කලාවැවේ රැල්ල පාගන්නයි, එහි ගිලී විනෝද වන්නටයි. දරුවනුත් සමග මෙහි ජල ක්‍රීඩා කරන විශාල පිරිසක් ඕනෑම දිනක දැකගන්න පුළුවන්.

   කලාවැව (කුසුම්සිරි විජයවර්ධන)

කලාවැව් බැම්මේ පිහිටා ඇති කඩවර දේවාලයේ පිහිට පැතීමට තවත් පිරිසක් ඇදී එනවා. කලාවැවේ මාලු ඇල්ලීමෙන්ද විශාල පිරිසක් ජීවත් වෙනවා. මාලු අලෙවි කරන්නන් වැව් බැම්මට පැමිණ වැව මැද සිටින ධීවරයන්ට ජංගම දුරකථන මගින් ඇමතුම් දී ඔවුන් ගෙන්වාගෙන මාලු ලබාගන්නවා අපි දුටුවා. කැකිරාව අවට ප්‍රදේශවලට පානීය ජලය ලබාදෙන්නේද කලාවැවෙන්.

   කලාවැවේ දිය ක්‍රීඩා (කුසුම්සිරි විජයවර්ධන)

හැදුණේ මෙහෙමයි

බිරිය හා අමනාපව වනගත වී මුව රංචුවක් සමඟ දිගු කලක් වනයේ ජීවත් වූ කඩවර නම් මිනිසකු හෙළි කළ රහසක් අනුව කලා ඔය කල වැලකින් හිරවී නිර්මාණය වී තිබූ ස්වභාවික ජලාශයක් විශාල කොට බඳවා ධාතුසේන රජු කලාවැව කරවා ඇති බවයි ජනකතාවල දැක්වෙන්නේ. මේ වැවට ජලය සපයන කලා ඔය නිර්මාණය වී ඇත්තේ දඹුලු ඔයේ සහ මිරිස්ගෝනියා ඔයේ ජලය එක්වීමෙනුයි.

   වැව් බැම්ම මතින් දිවෙන මහාමාර්ගය (කුසුම්සිරි විජයවර්ධන)

ගෝන නදී හෙවත් කලා ඔය හරස් කර මේ වැව ඉදි කළේ අදින් සියවස් 15කට පමණ පෙර රජ කළ ධාතුසේන (ක්‍රි. ව. 455-473) රජු විසින්. කලාවැව නිර්මාණය කළ ධාතුසේන මහරජතුමා විසින් වැව් 18 ක්‌ නිර්මාණය කළ බව වංශකතාවල සඳහන් වෙනවා. රජු විසින් කලාවැව ඉදිකර ඒ ආසන්නයේ තිබූ බළලු වැව ද එක් කර  විශාල වැව් බැම්මක් තැනීමෙන් සාදන ලද මෙය කලාබළලු වැව නමින්ද හැඳින්වුණා.

අද කලාවැවට මහවැලියේ ජලයත් ලැබෙනවා. මේ නිසා රජරටට වැසි නොලැබුණත් කලාවැවට ජලය ලැබෙනවා. මහවැලි ජලය බෝවතැන්න ජලාශය ඔස්සේ දඹුලු ඔයටත්, මිරිස්ගෝනි ඔයටත් වැටී කලාවැවට එක් වෙනවා. ඒ වගේම හැවන්ඇල්ලා ඔයත් කලාවැවට ජලය සපයනවා. පුරාණ කාලයේ අඹන් ගඟේ සිට මිරිස්‌ගෝනියා ඔය දක්‌වා ඉදිකළ උමඟක්‌ මඟින් කලාවැවට ජලය ලබාගත් බව ජනප්‍රවාදයක සඳහන්.

සැතැප්ම හතරක් දිග සුවිසල් වැව් බැම්ම
   වැව් බැම්මේ තුරුලතා (කුසුම්සිරි විජයවර්ධන)

කලාවැවේ වැව් බැම්ම සැතපුම් 04 ක්‌ පමණ දිගින් හා අඩි 40 ක්‌ පමණ උසින් ඉතා ශක්‌තිමත් ලෙස නිර්මාණය කර තිබෙනවා. එදා මේ සියල්ල කළේ මිනිස් ශ්‍රමයෙන්. වැව් බැම්මක් ඉදිකළ පසු එහි ආරක්ෂාවට කුඹුක්, වීර, පලු වැනි ගස් වගාකිරීම එකල සිරිතක්. අදත් විශාලව වැවුණු ගස් පිරුණු මේ වැව් බැම්ම උද්‍යානයක සිරි ගන්නවා. වැවේ බැම්ම ඇතුළතින් කලුගල් කුට්ටි යොදා රැළි පැන්නුම සකසා තිබෙනවා. මේ නිසා ජල පහර වැදීමෙන් බැම්මට හානියක් වෙන්නේ නැහැ.

අද වැව් බැම්ම වාහන ගමන් කරන මහාමාර්ගයක් වෙලා. කපා හැඩ දැමූ විශාල ගල් කුට්ටි යොදාගනිමින් එකල කලාවැවේ දිය පැන්නුම හෙවත් පිටවාන නිර්මාණය කර තිබෙනවා. වැඩි ජලය එම පැන්නුම මතින් පිටව කලාඔය දිගේ පහළ නිම්නයට ගලායැමට ඉඩ සලසා තිබෙනවා. වැව තුළ රඳවාගත් ජලය මුදාහැරීම සඳහා කළුගලින් නිම කළ බිසෝ කොටුව සහිත මහා සොරොව්ව එකල වාරි තාක්ෂණයේ මහිමය හෙළි කරන නිර්මාණයක්.

   කලාවැවේ ධීවරයෝ (කුසුම්සිරි විජයවර්ධන)

රජරට පිහිටි සමුදුර මෙයයි

මෙම මහා ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි ලක්ෂයක්. අලුත් මිනුම් අනුව කීවොත් ඝන මීටර මිලියන 123ක්.  වැවේ විශාලත්වය අක්කර හයදාස් තුන්සිය අසූවක් වෙනවා. ඉතින් රට මැද තිබෙන සමුදුරක් කිව්වත් වරදක් නැහැ.

කලාවැව සොරොව් හයකින් සමන්විතයි. මේවායින් කුඹුරු අක්‌කර 62829කට පමණ දියවර සැපයීම සිදු කෙරෙනවා. මේ වාරි කලාපයේ කලාවැව, ගොඩ ඇළ, බළලු වැව හා යෝධ ඇළ පුරාණ නිර්මාණ වන අතර ජයගඟ, වම් ඉවුරු ඇළ හා දකුණු ඉවුරු ඇළ මහවැලි ව්‍යාපාරය යටතේ නිර්මාණය කරන ලද නව වාරිමාර්ගයි.
   වැවේ සොඳුරු දසුනක් (කෝසල බණ්ඩාර – flickr.com)

පළමුවැනි විජයබාහු සහ මහා පරාක්‍රමබාහු යන රජවරු මේ වැව ප්‍රතිසංස්කරණය කළත් 13 වැනි සියවසෙන් පසු රජරට වනගත වෙද්දී කලාවැවත් වනයට යටවෙනවා. වැව් බැම්ම ස්ථාන කිහිපයකින්ම කැඩී ගිහින් ජරාවාස වෙනවා.

ප්‍රතිසංස්කරණයට උදව් කළ රටේ මහත්තයා
   වැවේ නාම පුවරුව (කුසුම්සිරි විජයවර්ධන)

බ්‍රිතාන්‍ය පාලන සමයේදී සහල් පිටරටින් ගෙන්වීමට විශාල මුදලක් වැයවන නිසා ඔවුන් කුඹුරු වගාව ගැන යළි අවධානය යොමුකරනවා. කලාවැව නැවත පිළිසකර කිරීමට උනන්දුවක් ඇති වන්නේ ඒ නිසයි. 1862 දී මේජර් පෝබ්ස් සහ ජෝර්ජ් ටර්නර් කලාවැව නිරීක්ෂණය කරනකොට එ් වනවිටත් පැරණි සොරොව්ව  පිටවාන සහ බිසෝකොටුව හොඳ තත්ත්වයක පැවති බව දැකලා තිබෙනවා.

ඉංග්‍රීසි ආණ්ඩුව කලාවැවේ ප්‍රතිසංස්කරණය නිම කරන්නේ 1887 දී. එහි පිහිටුවා ඇති ඵලකයක සඳහන් වන්නේ වික්ටෝරියා මහ රැජණගේ පනස්වැනි වර්ෂය වෙනුවෙන් ආණ්ඩුකාර ආතර් හැමිල්ටන් ගෝඩන්ගේ කාලයේ එය ප්‍රතිසංස්කරණය කරවූ බවයි. මෙම ප්‍රතිසංස්කරණයට කලාගම් පළාතේ රටේ මහත්තයා වූ රත්වත්තේ ලොකුබණ්ඩා කම්කරුවන් සපයා ගැනීමට ආධාර කළ බවත් එහි සඳහන් කර තිබෙනවා.
   රැළපනාවේ කලුගල් (කුසුම්සිරි විජයවර්ධන)

මේ කාලයේම ජය ගඟ හෙවත් යෝධ ඇළ ද ප්‍රතිසංස්කරණය කෙරුණා. යෝධ ඇළේ ප්‍රතිසංස්‌කරණ කටයුතු අවසන් කර යෝධ ඇළ චාරිත්‍රානුකූලව විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ  1887 දෙසැම්බර් මාසයේදී. මෝටර් රථ නොතිබූ එකල උත්සවයට සහභාගී වූ ආණ්‌ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩ්න්, රජයේ ඒජන්ත අයිවර්ස්‌, ඉංජිනේරු රයිටන් හා ඉංජිනේරු මැක්‌ඩොනල්ඩ් යන මහත්වරුන් ඔරුවක නැඟී කලාවැවේ සිට යෝධ ඇළ දිගේ ගොස් අනුරාධපුරයට ළඟා වූ බව සඳහන් වෙනවා.

හස්ති බලකාය

අතීතයේ පටන් මෙරට වාරි කර්මාන්තයට මහඟු සේවයක්‌ ඉටුකළේ හස්‌ති බලකායයි. ඉංග්‍රීසි සමයේදී වැව් බැම්ම ශක්තිමත් කිරීමට පස් තැලීම අවශ්‍ය වූ විට ඒ සඳහා යොදාගෙන ඇත්තේද අලි ඇතුන්. ඔවුන් යොදාගත් අවසාන මහා පරිමාණ ව්‍යාපෘතිය ලෙසද මෙය ඉතිහාසගත වුණා.

යන්ත්‍රෝපකරණ නොමැති කාල වකවානුවක සිදුවූ කලාවැව ප්‍රතිසංස්‌කරණයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුව සතු හස්‌ති බලකාය ප්‍රශංසනීය කාර්යභාරයක්‌ ඉටුකර තිබෙනවා. එම හස්‌ති බලකායේ බඹරා හා සෙල්ලතම්බි නම් හස්‌තීන් දෙදෙනා මෙහි වැඩ අතරතුර මියයාම කණගාටුවට කරුණක්.

   සොරොව්ව (කුසුම්සිරි විජයවර්ධන)

ජනාවාසකරණය අසාර්ථකයි

ප්‍රතිසංස්කරණයෙන් පසු ඉංග්‍රීසින් විසින් 1880 දශකයේ දී කලාවැව අවට ජනපද ව්‍යාපාරයක් ඇති කරනු ලැබුවා. උතුරෙන් ගෙන්වාගත් දෙමළ පවුල් කිහිපයක් හා පුරාණ සිංහල ගමකින් සහ උඩරටින් ගෙන්වාගත් පවුල් කිහිපයක්ද පදිංචි කෙරුණා. නමුත් මැලේරියාව ඇතුලු වසංගත පැතිරීම නිසා මේ ජනපදය ඉක්මනින්ම පාලුවට ගියා.

1930 ගණන්වල යළිත් ජනපද ව්‍යාපාරයක් ඇති කොට සේනපුර, අලුත්දඹවටවන, අලුවිහාරේගම වැනි ගම්මාන පිහිටනු ලැබූ නමුත් එ් ජනපදයත් සම්පූර්ණයෙන් සාර්ථක වුණේ නැහැ. සමහරු නැවත තම මුල් ගම්බිම් බලා ගියා.

ඊට කාලයකට පසු 1970 දශකයේ පොල්ගොල්ල බෝවතැන්න ජලාශ ඉදිකර මහවැලි ජලය කලාවැවට සපයා ජල ධාරිතාවය වැඩි කළාට පසුවයි මේ අවට ජනාවාස විශාල වශයෙන් වර්ධනය වුණේ.

කලා වැව අාශ්‍රිත වැදගත් නිර්මාණ.

කලා වැව අාශ්‍රිත ව බිහි වුණු පරිසර පද්ධතිය තුළ නිර්මාණ බොහොමයක් තිබෙනවා. එ් අතරින් වැදගත් කිහිපයක් ගැනයි මේ.

කලාවැවේ යෝධ ඇළ

   ඉපලෝගම හරහා ගලන ජයගඟ හෙවත් යෝධ ඇළ (කුසුම්සිරි විජයවර්ධන)

වැවෙන් ගලා එන ජලය පහළ නිම්නය කරා ගෙන යාමට ධාතුසේන රජු විසින් අනුරාධපුර තිසාවැව දක්‌වා යෝධ ඇළ මාර්ගයක්‌ ඉදි කරනු ලැබුවා. ජයගඟ ලෙස නම් ලබපු, සැතපුම් 54 ක්‌ දිගින් හා අඩි 40 ක්‌ පළලින් යුතු මෙම යෝධ ඇළෙන් පහළ නිම්නයේ ඇති සියලුම වැව් පුරවාලමින් කෙළවර තිසාවැවටත් ජලය සැපයුණා.

ගැබ්ගත් එලිච්චියක් පෙරමුණෙන් ගමන් කරවා  ඇය පියවර තැබු මග ඔස්සේ යෝධ ඇළ ඉදිරියට කපාගෙන යන ලදැයි  ජනකතාවක පැවසෙනවා.

එහි ජල බැස්ම මුල් සැතපුම් 17 පුරාවටම සැතපුමට අඟලක් පමණයි. කලාවැව සහ තිසා වැව අතර භූමියෙහි උස් මට්ටම පිළිබඳව එකල වාරි ඉංජිනේරුවන් සතු වූ දැනුම ඉන් පැහැදිලි වෙනවා. කඩිනම් මහවැලිය මගින් ජයගඟ නමින්ම අලූතෙන් අැළක් ඉදිකිරීම නිසා පැරණි යෝධ ඇළේ කොටසක්, එනම් මහඉලූප්පල්ලම සිට බටුවත්ත දක්වා වූ කිලෝ මීටර් 15ක් පමණ දුරැති කොටස භාවිතයෙන් ඈත් වීම හේතුවෙන් එහි අභාවයට ගිහින්.

නව ජයගඟ

කලාවැවේ සිට අනුරාධපුරයට හා අමතර කුඹුරුවලට ජලය සැපයීම සඳහා මහවැලි ව්‍යපාරය යටතේ “නව ජයගඟ” නමින් ඇළ මාර්ගයක්‌ හා වම් ඉවුරේ හා දකුණු ඉවුරේ තවත් ඇළ මාර්ග 2ක්‌ද ඉදිකළා. එසේම කලාවැවේ ආරක්‌ෂාව ඉහළ නැංවීමට කලාවැවට වාන් ගේට්‌ටු දෙකක්‌ද සවිකළා.

කාලවාපී හෙවත් අවුකන
    අවුකන හෙවත් කාලවාපී විහාරය (කුසුම්සිරි විජයවර්ධන)

කලාවැවට අමතරව ධාතුසේන මහරජතුමා විසින් කරවූ වෙහෙර විහාර 19 න් පළමුවැන්න කාලවාපී විහාරය හෙවත් ජනප්‍රවාදයේ එන කලාවැව විහාරයයි. මෙය අද හඳුන්වනු ලබන්නේ අවුකන විහාරය නමින්. අවුකන විහාරයේ විශේෂත්වය වන්නේ අවුකන පිළිම වහන්සේගේ නෙත ගැටෙන සේ කලාවැව ඉදිකිරීමයි.

ධාතුසේන රජමහා විහාරය

    ධාතුසේන රජමහා විහාරයේ ගල්පර්වතය (කුසුම්සිරි විජයවර්ධන)

කලාවැවට නුදුරින් පිහිටි මෙම ලෙන් විහාරයේ උස් ගල්කුලක් තිබෙනවා. එය අවුකන පිළිමයේ හැඩයට තරමක් සමානයි. කලාවැවට මෙම ගල්කුල අපූරුවට පේනවා. ජන විශ්වාසයක් පවතින්නේ බුද්ධ ප්‍රතිමාව මෙම ස්ථානයේ ඉදිකිරීමට මුලින්ම අදහස් කළත් එය වැළකී ගිය බවයි.

විජිතපුර විහාරය

ගැමුණු රජු සහ එළාර රජු අතර අවසන් සටන සිදුවු බව පැවසෙන ස්ථානයේ ඉදිවූ බව සැලකෙන මේ විහාරය කලාවැවට නුදුරින් පිහිටා තිබෙනවා.

කඩවර දේවාලය

   කඩවර දේවාලය (කුසුම්සිරි විජයවර්ධන)

කලාවැව් බැම්මට එන කවුරුත් කඩවර දේවාලයට පඩුරක් දමා යාමට අමතක කරන්නේ නැහැ.ජනප්‍රවාදයකට අනුව කලාවැවේ සියලු කටයුතු අවසන් කර දියවර සැපයීමේ හා වැව ආරක්‍ෂා කිරීමේ මූලික කටයුතු ධාතුසේන රජු කඩවර නැමැත්තාට පවරා දුන්නා.

දිනක්‌ මහා වර්ෂාවක්‌ නිසා කලාවැව පිරී ඉතිරී යෑමේදී වැවේ බැම්මේ කුඩා සිදුරකින් ජලය කාන්දු වීමට පටන් ගෙන තිබෙනවා. ක්‍රමයෙන් දිය කාන්දුව වැඩිවෙනවා දුටු කඩවර එය ඉවසාගත නොහැකිව ජලයට පැන ජලය කාන්දුවන තැනට හිස ඔබාගෙන සිට එම ජල කාන්දුව නතර කළාලු. ජලය තුළ රැඳී සිටීමෙන් කඩවර මියගියත් දැන් ඔහු දෙවියෙක්‌ ලෙස සලකා වැඳුම් පිදුම් කෙරෙනවා.
   කලාවැවේ වාන (moonasinghe.yolasite.com)

කලාවැව ජාතික උද්‍යානය

කලාවැව අවට පාරිසරික කලාපය ජාතික උද්‍යානයක් ලෙස  2015 ඔක්තෝබර් 17 දා ප‍්‍රකාශයට පත්වුණා. කලාවැව සහ බළලුවැව ආශ‍්‍රිත ජලපෝෂක ප‍්‍රදේශයේ ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම එහි අරමුණක්.

මෙම පරිසර පද්ධතිය වාසභූමිය කොට ජීවත්වන අලිඇතුන් ප‍්‍රමුඛ වනජීවීන්ගේ පැවැත්ම තහවුරු කිරීම සහ ස්වාභාවික සම්පත් මත පදනම් වූ පාරිසරික සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය එහි අනෙක් අරමුණයි.

එදා සිට සිටම අපේ කෙත්වතුවල ජීවනාලිය වූ කලා වැවත්, එ් අාශ්‍රිත අනෙකුත් නිර්මාණත් හොඳින් රැක බලාගෙන අපේ රටේ දියුණුවට උදව් කර ගැනීම ඉතා වැදගත්.

උපුටා ගැනීම-/roar.media/

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.