Header Ads

කහ ඉරේදි ටිපර් රථයට හසුව සිසුවියක් මරුට- - නානුඔය රත්වෙයි

නුවරඑළිය - නානුඔය නගරයේ කහඉර මතදී සය හැවිරිදි පාසල් දැරියක ටිපර් රථයක හැපී එම ස්‌ථානයේදීම මියයාමත් සමඟ එම ටිපර් රථයට ගිනි තබා ප්‍රදේශයේ ජනතාව නානුඔය නගරයේ කලහකාරී ලෙස හැසිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇති විය.

ඊයේ (15 වැනිදා) උදේ සිදුවූ මෙම අනතුරත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් නානුඔය - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය පැය 6 කට අධික කාලයක්‌ ඇනහිට තිබිණි.

මෙම අනතුරින් මියගොස්‌ තිබුණේ නානුඔය ශ්‍රීමත් ඡේම්ස්‌ පීරිස්‌ විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දෙව්මිණි ආකාශා නමැති දැරියකි.

අනතුරින් පසු ප්‍රකෝප වූ 3000 කට අධික පිරිසක්‌ නානුඔය නගරයට පැමිණ දැරිය බිලිගත් ටිපර් රථයට ගිනිතබා විනාශ කරනු ලැබූහ.

මෙම අවස්‌ථාව ආවරණය කරමින් සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද කලහකාරී ලෙස හැසිරුනු පිරිස්‌ බාධාකරන්නට වූහ.

නානුනඔය උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසියට අමතරව විශේෂකාර්ය බලකායේ නිලධාරීන්ද යෙදවීමට සිදුවිය.

මේ අතර මෙම සිද්ධියට අදාළව නානුඔය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට ස්‌ථාන මාරුවක්‌ ලබාදී තිබේ.

අනතුරින් පසු නානුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු වන සහන් උත්සුක නමැත්තා නුවරඑළිය මහෙස්‌ත්‍රාත් රුවන් ඉන්දික ද සිල්වා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 28 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබිණි.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.