Header Ads

රාජපක්‌ෂ ආණ්‌ඩුවේ 2006 මහා මිග් යානා මගඩිය සිදු වු හැටි මෙන්න !!

රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට පැමිණි අලුත, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමේදී සිදුවූවා යෑයි කියන මහා වංචාවක්‌ ගැන මුලින්ම හෙළිදරව් වූයේ 2006 දී ඉංග්‍රීසි පුවත්පත් දෙකක පළ වූ වාර්තා වලිනි. 

2015 ජනවාරියේදී සිදුවූ ආණ්‌ඩු වෙනසින් පසු මේ මිග් ගනුදෙනුව විමර්ශනය කිරීමට අලුත් ආණ්‌ඩුව උනන්දුවක්‌ දක්‌වා ඇත. එම විමර්ශනයේ ප්‍රගතිය ගැන ඉඳහිට මාධ්‍ය වාර්තා ද පළ වේ. 

වසර 2000 දී ගුවන් හමුදාව මුල්වරට මිග් – 27 යානා හතරක්‌ මිලදීගත් අවස්‌ථාවේදී ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය උපකරණ, විශේෂ වාහන හා අමතර කොටස්‌ ද සහිතව එක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක්‌ විය. 

එම වසරේදීම මාස කීපයකට පසු තවත් මිග් – 27 යානා දෙකක්‌ මිලදී ගනු ලැබූ අතර ඉන් එකක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්‌ විය. එයත් සමඟ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානාවක්‌ ද ඇමෙරිකානු ඩොලර් ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබිණි. මේ සියල්ලම ලංකාවට ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 845,000 ක්‌ විය.

නමුත් 2006 රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ තවත් මිග් යානා හතරක්‌ මිලදී ගන්නා විට එක ප්‍රහාරක යානාවක මිල ඇමෙරිකානු ඩොලර් 2,462,000 ක්‌ වූ අතර ප්‍රවාහන ගාස්‌තුව ඇමෙරිකානු ඩොලර් 460,000 ක්‌ විය.

 මෙයත් සමඟ 2000 වසරේදී මිලදී ගනු ලැබූ මිග් යානාවලින් ඉතිරිව තිබූ යානා හතරක්‌ අලුත්වැඩියා කරනු ලැබූ අතර මෙය ද අධික මිලට කරනු ලැබූ බවට චෝදනාවක්‌ විය. 

2000 දී ඇ. ඩො. ලක්‌ෂ නවයකට මිලදී ගනු ලැබූ මිග් – 23 වර්ගයේ පුහුණු කිරීමේ යානය 2006 දී ඇ. ඩො. ලක්‌ෂ 11 කට – එය මිලදීගත් මුදලටත් වඩා – වැයකරමින් අලුත්වැඩියා කිරීම මීට උදාහරණයක්‌ වශයෙන් දක්‌වා තිබුණි. 

2006 මිග් ගනුදෙනුවට සම්බන්ධ අනෙක්‌ චෝදනාව වූයේ මිග් – 27 යානා හතරක්‌ මිලදී ගැනීම සඳහාත් ගුවන් හමුදාවට තිබුණු මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහාත් ගෙවනු ලැබූ මුදල සැපයුම්කරු වන යුක්‌රේනයේ “යුක්‌රීන්මාෂ්” සමාගමට නොගෙවා බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම නමැති සැකසහිත තුන්වැනි පාර්ශ්වයකට ගෙවා තිබීමයි. 

මේ බෙලිමීසා හෝල්ඩිංග්ස්‌ සමාගම සැබෑ ව්‍යාපාරික සමාගමක්‌ නොව හොර ගනුදෙනු සඳහා පවත්වාගෙන යනු ලැබූ රූකඩ සමාගමක්‌ බවට ද 2006 දී පෙර කී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ පළ වූ වාර්තාවල සඳහන් විය. 2006 මහා මිග් මගඩිය වශයෙන් අදහස්‌ වන්නේ මේ චෝදනා දෙකය.

2000 දීත් 2006 දීත් මිලදී ගනු ලැබූ මිග් ගුවන්යානාවල මිලෙහි සැලකිය යුතු වෙනසක්‌ තිබීමට හේතුව අදාළ මිලදීගැනීමේ ගිවිසුම් හා වෙනත් ලියෑවිලි කියවා බැලීමෙන් පැහැදිලි වේ. 

මෙකී මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවට අදාළ සියලුම ලියෑවිලි ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ නඩුවකට අදාළ ලිපි ලේඛන හැටියට තැන්පත් වී ඇත. 2006 දී රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයට එන විට 2000 වසරේදී මිලදී ගන්නා ලද මිග් යානා හතෙන් තුනක්‌ 2001 ජූලි 24, 2001 අගෝස්‌තු 18 හා 2004 ජූලි 09 යන දිනවලදී විනාශ වී තිබුණි. 

ඉතිරි මිග් යානා හතරේ සේවා කාලය ඉකුත් වී තිබීම හේතුවෙන් භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයක විය. එවක සිටි ගුවන් හමුදාපතිවරයා තවත් මිග් යානා හතරක්‌ මිලදී ගත යුතු යෑයි එකල පැවති එජාප ආණ්‌ඩුවට 2003 මාර්තු 12 දින ඇති ලිපියකින් නිර්දේශ කරනු ලැබූ අතර එම වසරේදීම ඒ සඳහා ලන්සු කැඳවීමක්‌ ද සිදුවිය. 

2003 අප්‍රේල් 22 වැනිදා යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම මිග් – 27 යානා හතරක්‌ සැපයීම සඳහා ඉදිරිපත් කළ ලංසුව පිළිගත යුතු යෑයි ගුවන් හමුදාපතිවරයා එජාප ආණ්‌ඩුවට නිර්දේශ කර තිබුණි. නමුත් 2003 දී මේ මිලදී ගැනීම සිදුවූයේ නැත.

2004 අප්‍රේල් මාසයේදී එජාප ආණ්‌ඩුව පරාජය වී නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්‌ඩුවක්‌ පිහිටුවනු ලැබූ අතර ඒ ආණ්‌ඩුව යටතේ ද මේ මිලදීගැනීම සිදුනොවුණි. 

2006 ජනවාරි 25 වැනිදා අලුතෙන් ආරක්‌ෂක ලේකම් ධුරයට පත්වී සිටි ගෝඨාභය රාජපක්‌ෂ මහතාට ද ලිපියක්‌ ලියමින්, ගුවන් හමුදාපතිවරයා විසින් මේ මිග් ප්‍රහාරක යානා හතර මිලදී ගැනීමේ කාරණය නැවතත් ඉදිරිපත් කරනු ලැබීය. අලුත් ආණ්‌ඩුව එම ඉල්ලීමට කන් දුන්නේය.

2006 වන විට ලෝකයේ කොතැනකවත් අලුත් මිග් යානා නොතිබුණි. මේ ප්‍රහාරක යානා මොඩලය අභිබවමින් මිග් – 29, මිග් – 31 යනාදී වශයෙන් වෙනත් නවීන මොඩල වෙළෙඳපොළට පැමිණ බොහෝ කලක්‌ ගතවී තිබුණි. 

නමුත් ඒ නවීන මිග් ප්‍රහාරක යානාවල මිල ඉතාමත් අධික විය. එමෙන්ම එතරම් ප්‍රබල ප්‍රහාරක යානා ලංකාවේ කාර්යයට අවශ්‍ය ද නොවීය. 2000 දී මුල්වරට මිග් – 27 යානා ගෙන්වීමෙන් පසු ඒවා ක්‍ෂණිකවම ගුවන් හමුදාව වඩාත් ප්‍රියකරන මොඩලය බවට පත්විය. 

වෙළෙඳපොළේ පැවති සියලුම මිග් – 27 යානා පැරැණි ඒවා වූ අතර ඉන් එක්‌ එක්‌ යානාවක පවතින සේවා කාලය අනුව මිල වෙනස්‌ විය. ඉතිරි වී ඇති සේවා කාලය වැඩි නම් මිල වැඩිය. එය අඩු නම් මිලත් අඩුය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ ජයනාත් කුමාරසිංහ මහතා ගල්කිස්‌ස දිස්‌ත්‍රික්‌ උසාවියේ සාක්‌ෂි දෙමින් පවසා සිටියේ 2000 වසරේදී මිලදීගන්නා ලද සියලුම ගුවන් යානා මිලදීගෙන තිබුණේ ‘පැවතුන තත්ත්වයෙන්ම’ මිස අලුත්වැඩියා කිරීමකින් පසුව නොවන බවයි. 

ගුවන්යානයක සේවා කාලය තීන්දු කරනු ලබන්නේ යානයේ කඳ සහ එන්ජිම සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමකට යොමුකිරීම සඳහා ඉතිරි වී ඇති කාලය අනුවයි.

මිග් – 27 ප්‍රහාරක යානාවකට තිබිය හැකි උපරිම සේවා කාලය ගුවන් යානාවේ කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 ක්‌ හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 ත් වේ. 

මෙහිදී පියාසර කරන පැය ගණන මෙන්ම අලුත්වැඩියාවකින් පසු ගතවන කාලය ද එක ලෙස වැදගත් වේ. ගුවන් යානාවක්‌ අලුත්වැඩියා කිරීමෙන් පසු පියාසර නොකෙරුවත් කාලය ගතවීමෙන් පමණක්‌ ඇතිවන පිරිහීමක්‌ ද වේ. 

ගුවන් යානාවක සේවා කාලය පියාසර කරන පැය ගණන මෙන්ම අවුරුදු ගණනක්‌ වශයෙන් ද ප්‍රකාශ කරන්නේ ඒ නිසාය. පියාසර පැය ගණන ඉකුත් වී නොතිබුණත් අදාළ අවුරුදු ගණන ඉක්‌මවා තිබේ නම් එම ගුවන්යානය අලුත්වැඩියාවකට යොමුකළ යුතුවේ. 

එම නිසා මිග් – 27 යානා මිලදීගැනීමේදී වැදගත් වන කාරණය වන්නේ විකුණුම්කරුවා අදාළ ගුවන්යානා සඳහා ලබාදෙන සේවා කාලය පිළිබඳ සහතිකයයි. 2000 දී මිලදීගත් මිග් යානා 7 සඳහා ලබාදී තිබුණු උපරිම සේවා කාල සහතිකය අවුරුදු 2 කි. 

නමුත් 2006 දී මිලදී ගනු ලැබූ හා අලුත්වැඩියා කරනු ලැබූ සියලුම මිග් – 27 යානා සඳහා යුක්‌රින්මාෂ් සමාගම ගුවන්යානා කඳ සඳහා පියාසර පැය 850/ අවුරුදු 8 හා එන්ජිම සඳහා පියාසර පැය 550/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මිග් 23 යානයේ එන්ජිමේ සේවා කාලය පමණක්‌ එම මොඩලයට ආවේණික ආකාරයට පියාසර පැය 400/අවුරුදු 7 වශයෙන් සහතික කොට තිබුණි. මේ කාරණා 2006 ජූලි 26 වැනිදා අත්සන් කරන ලද ගිවිසුමෙන් පැහැදිලි වේ.

මේ අනුව අපට පෙනීයන්නේ 2006 දී මිලදී ගනු ලැබූ මිග් – 27 යානාවක මිල ඇ. ඩො. 2,462,000 ක්‌ වශයෙන් සඳහන් වූයේ ඒවාට අලුත් ගුවන්යානාවලට සමාන සේවා කාල සහතික තිබුණු නිසා බවයි. 

2000 දී ගත් මිග් යානාවල සේවා කාලය ඉකුත් වූ පසු ගුවන් හමුදාව මේවා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවෙන්, ඉන්දියාවෙන් හා යුක්‌රේනයෙන් ලංසු කැඳවා තිබුණි. 

2004 දී සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ගුවන් හමුදාව සතු මිග් – 27 යානා තුන හා මිග් – 23 පුහුණු කිරීමේ යානය අලුත්වැඩියා කිරීමට ඇමෙරිකානු ඩොලර් 4,949,380 ක්‌ ඉල්ලා තිබුණි. 

මේ ගුවන්යානා ලංකාවෙන් ගෙනගොස්‌ ආපසු ගෙන ඒමට ප්‍රවාහන ගාස්‌තු වෙනම ගෙවිය යුතු විය. ඩී. එස්‌. එලායන්ස්‌ යනු 2000 දී මේ ගුවන්යානා මුලින්ම ලංකාවට විකුණූ ආයතනයයි. 

එමෙන්ම 2006 දී මෙකී මිග් යානා 4 අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ද ලංසු ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් ඒ සඳහා ඇ. ඩො. 6,578,660 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු හැටියට තවත් ඇ. ඩො. 650,216 ක්‌ ඉල්ලා තිබුණි. 

ඒ කාලයේම යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමත් මේ අලුත්වැඩියාව සඳහා ලංසුවක්‌ ඉදිරිපත් කර තිබූ අතර ඔවුන් අලුත්වැඩියාවට ඇ. ඩො. 4,520,000 ක්‌ හා ප්‍රවාහන ගාස්‌තු වශයෙන් ඇ. ඩො. 240,000 ක්‌ ඉල්ලා තිබුණි. වෙනම මිලදීගන්නා මිග් – 27 යානා හතරේ ප්‍රවාහනයත් සමඟ මේවා එකට යන එන නිසා ප්‍රවාහන ගාස්‌තුව සෑහෙන ගණනකින් අඩුවිය.

 ගුවන් හමුදාව සතුව තිබුණු මිග් යානා හතර අලුත්වැඩියා කිරීමට මේ ආකාරයට රටවල් තුනකින් ඉදිරිපත් කර තිබූ ලංසු අනුව අඩුම මිල යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගම ඉදිරිපත් කර තිබූ බව පැහැදිලිය.

2006 දී මේ මිග් ගනුදෙනුව ගැන පෙරකී ඉංග්‍රීසි පුවත්පත් දෙකේ අසා තිබුණු ප්‍රශ්නයක්‌ වූයේ 2000 දී ඇ. ඩො. ලක්‌ෂ 9 කට මිලදීගත් මිග් 23 ගුවන්යානය අලුත්වැඩියා කිරීමට රාජපක්‌ෂ ආණ්‌ඩුව යටතේ ඇ. ඩො. 1,160,000 ක්‌ වැය වූයේ කෙසේ ද යන්නයි. 

නමුත් ඉහත සඳහන් කරන ලද ලංසු වලදී මේ මිග් – 23 ගුවන්යානය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම ඇ. ඩො. 1,299,045 ක්‌ ඉල්ලා තිබුණු අතර ඉන්දියාවේ හින්දුස්‌තාන් එරොනොටික්‌ස්‌ සමාගම ඇ. ඩො. 1,951,351 ක්‌ ඉල්ලා තිබුණි. ඒ අනුව මේ සඳහා අඩුම ලංසුව ඉදිරිපත් කර තිබුණේ යුක්‌රින්මාෂ් සමාගම විසිනි.

2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඒ කාලයේ නඟනු ලැබූ ඊළඟ ප්‍රශ්නය වූයේ 2000 දී මිග් යානා මිලදී ගැනීමට ගිය මුදල අදාළ විකුණුම්කාර සමාගමට ගෙවා තිබුණ ද 2006 දී මිග් – 27 යානා හතරක්‌ මිලදීගැනීම හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීම සඳහා ගිය මුදල සැපයුම්කරු වූ යුක්‌රේනයේ යුක්‌රින්මාෂ් සමාගමට නොගෙවා සැක සහිත තුන්වැනි පාර්ශ්වයක්‌ වූ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ නමැති සමාගමකට ගෙවා තිබුණේ මන්ද යන්නයි. 

2006 පෙබරවාරි 6 වැනිදා යුක්‌රින්මාෂ්a සමාගම අදාළ ලංසුව ශ්‍රී ලංකා ආණ්‌ඩුවට ඉදිරිපත් කළ ලියෑවිල්ලේම සඳහන් කර තිබෙන පරිදි මේ ගනුදෙනුව සඳහා යුක්‌රින්මාෂ් සමාගමට මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සිදුවන්නේ මූල්‍ය සමාගමක්‌ විසින්ය. එමනිසා සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ සමාගමට බව එම ලියෑවිල්ලේ පැහැදිලිවම සඳහන් විය.

යුක්‌රින්මාෂ් සමාගමේ අධ්‍යක්‌ෂ ඩී. ඒ. පෙරුගුඩොව් පසුව ශ්‍රී ලංකා ආරක්‌ෂක අමාත්‍යාංශය වෙත ලිපියකින් දන්වා සිටියේ යුක්‌රින්මාෂ්a සමාගම යුක්‌රේන් රජයට සම්පූර්ණයෙන්ම අයිති සමාගමක්‌ බවත්, ඔවුන්ගේ නීතියට අනුව ලංකාවේ ආණ්‌ඩුවෙන් ඉල්ලා තිබෙන ආකාරයට ණයට භාණ්‌ඩ සැපයිය නොහැකි බවත්, ඒ හේතුවෙන් බාහිර සමාගමක්‌ හරහා අදාළ පහසු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. 

මෙය ලීසිං සමාගමක මැදිහත්වීමෙන් වාහනයක්‌ මිලදී ගැනීම වැනි ක්‍රියාදාමයක්‌ විය. ඊට කලින් පැවති එජාප ආණ්‌ඩුව ද මිග් යානා මිලදී ගැනීමට ලංසු කැඳවූ අවස්‌ථාවේදී යුක්‌රින්මාෂ් සමාගම 2003 අප්‍රේල් 22 එවක ආරක්‌ෂක ඇමැති තිලක්‌ මාරපන මහතා වෙත එවා තිබූ ලංසුවේ ද ඔවුන් සඳහන් කර තිබුණේ අදාළ මිලදී ගැනීම සඳහා මූල්‍ය පහසුකම් වෙනත් සමාගමක්‌ විසින් සපයන බවත් සියලු ගෙවීම් සිදුකළ යුත්තේ ඒ අදාළ සමාගමට බවත්ය. 2003 දීත් 2006 දීත් යුක්‌රින්මාෂ් සමාගම ලංකාවට මිග් යානා සැපයීමට ඉදිරිපත් වී සිටියේ ගෙවීම් තුන්වැනි පාර්ශ්වයකට කළ යුතු බවට කොන්දේසියක්‌ ද සහිතවය.

2000 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුව විසින් මිග් යානා මිලදී ගන්නා විට මෙවන් කොන්දේසි නොතිබුණේ ඒ අවස්‌ථාවේදී විකුණුම්කාර පාර්ශ්වය වූ සිංගප්පූරුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින්ම අදාළ මූල්‍ය පහසුකම් ලංකා ආණ්‌ඩුවට සපයා තිබීම නිසාය. 

2000 දී ලංකාවට මිග් යානා විකිණුවේ ඩී. එස්‌. එලයන්ස්‌ සමාගම විසින් වුවත් ඒ අවස්‌ථාවේදී ද සැබෑ සැපයුම්කරු වූයේ යුක්‌රින්මාෂ් සමාගමයි. ඩී. එස්‌. එලයන්ස්‌ හුදෙක්‌ම අතරමැදියෙක්‌ පමණක්‌ම විය. 

2006 ජූලි 26 වැනිදා මිග් යානා හතරක්‌ මිලදීගැනීමට හා තවත් මිග් යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමට ගිවිසුම අත්සන් කරන අවස්‌ථාවේදී එයට පාර්ශ්වකරුවන් තුනක්‌ සිටියේය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගැනුම්කරුවා වූ අතර යුක්‌රින්මාෂ් සමාගම විකුණුම්කරුවා විය. 

බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම ගෙවීම් ලබන මූල්‍ය සමාගම හැටියට එම ගිවිසුමට අත්සන් කරන ලදී. මේ ගනුදෙනුවට මූල්‍ය පහසුකම් සපයන්නේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම බව විකුණුම්කාර පාර්ශ්වයත් ගැනුම්කාර පාර්ශ්වයත් අවබෝධයෙන් සිටින බවත්a, ප්‍රවාහන ගාස්‌තුව ද ඇතුළුව සියලු ගෙවීම් කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට බව දෙපාර්ශ්වයෙන්ම පිළිගන්නා බවත්, එම ගිවිසුමේ 23.1 වගන්තියේ සඳහන් විය. 

2006 ජූලි 31 වැනිදා යුක්‌රින්මාෂ් සමාගම මේ ගනුදෙනුවට අදාළ ඉන්වොයිසිය ගුවන් හමුදාවට එවූ අවස්‌ථාවේදී ද ලංකා බැංකුව විසින් මේ ගනුදෙනුවට අදාළ ණයවර විවෘත කළ යුත්තේ බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමේ නමින් බව සඳහන් විය.

ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් අවි මිලදීගන්නා විට අදාළ අවි භාවිත වන්නේ කුමන රටේ ද යන්න පෙන්වන “භාවිතා කරන්නාගේ සහතිකයක්‌” (එන්ඩ් යූසර් සර්ටිෆිකේට්‌) නිකුත් කරනු ලැබේ. 

2006 ජූලි 15 වැනිදා මිලදීගන්නා ලද මිග් – 27 යානා හතර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කර තිබූ “භාවිත කරන්නාගේ සහතිකයේ” ද සඳහන් වී තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම විසින් මිග් – 27 ගුවන්යානා හතරක්‌ මිලදීගන්නා බවත් එම ගුවන්යානා භාවිතා වන්නේ ලංකාවේ පමණක්‌ බවත්, යුක්‌රේනයේ බලධාරීන්ට දන්වන්නේ නැතිව ඒවා විකිණීම හෝ අන්සතු කිරීම නොකරන බවත්ය. 

මේ සියල්ල සලකා බලන විට මෙම ගනුදෙනුවට බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගම සහභාගි වූයේ විවෘත පාර්ශ්වකරුවකු හැටියට මිස හොර රහසේ නොවන බව පැහැදිලිය. එමෙන්ම මේ ගනුදෙනුව ලංකාවේ නීතියත් යුක්‌රේනයේ නීතියත් ජාත්‍යන්තර නීතියත් හමුවේ වලංගු ගිවිසුමක්‌ මත පදනම් වූවකි. හැම විටම ගැනුම්කරුවකු යම් මිලදීගැනීමක්‌ සම්බන්ධයෙන් ගෙවීම් සිදුකළ යුත්තේ විකුණුම්කරුවන් නිර්දේශ කරන ආකාරයටය.

මේ ගනුදෙනුව ආණ්‌ඩුවේ පුද්ගලයන් කීපදෙනකු එකතු වී කළ හොර මගඩියක්‌ හැටියට හුවා දැක්‌වීමට උත්සාහයක්‌ තිබුණ ද එය නිසිආකාරව සිදුකෙරුණු ආණ්‌ඩුවේ ප්‍රසම්පාදනයක්‌ විය. 

මුළු ගනුදෙනුවම අධීක්‌ෂණය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් පත්කරන ලද ටෙන්ඩර් කමිටුවක්‌ විය. එහි සභාපති ජාතිය ගොඩනැඟීමේ හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්‌. ජයසිංහ මහතා වූ අතර සෙසු සාමාජිකයෝ වූයේ ආරක්‌ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් එස්‌. බී. දිවාරත්න යන මහත්වරුන්ය. එයට අමතරව ජාතික ප්‍රසම්පාදන ආයතනය විසින් පත්කරනු ලැබූ ‘තාක්‌ෂණික ඇගයීම් කමිටුවක්‌’ ද විය. 

එහි සභාපති එයාර් වයිස්‌ මාර්ෂල් රොෂාන් ගුණතිලක වූ අතර ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‌ෂ ගුවන් කොමදොaරු ඊ. ජී. අයි. පී. ද සිල්වා, ආරක්‌ෂක අමාත්‍යාංශයේ ගණකාධිකාරී එච්. ඩී. වීරසිරි, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඩී. පී. ටී. නානායක්‌කාර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ෙ-. වී. ප්‍රේමරත්න හා මුදල් අමාත්‍යාංශයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය එහි සෙසු සාමාජිකයන් විය. 

මෙයට අමතරව මෙම ගනුදෙනුවේ අවසන් මිල ගණන් සාකච්ඡා කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය විසින් මහා භාණ්‌ඩාගාරයේ පී. ඒ. ප්‍රේමතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්‌ පත්කර තිබූ අතර මෙකී කමිටුව යුක්‌රින්මාෂ් සමාගමෙන් ඉල්ලා සිටියේ මෙය ආණ්‌ඩු දෙකක්‌ අතර සිදුවන ගනුදෙනුවක්‌ නිසාත් ලංකාවත් යුක්‌රින්මාෂ් සමාගමත් අතර සෑහෙන කලක සිට තිබුණු සම්බන්ධතාවය නිසාත් මුළු ගනුදෙනු මිලෙන් 0.27% කට සමාන වට්‌ටමක්‌ වෙනුවට සමස්‌ත මිලෙන් 0.84% කට සමාන වැඩි වට්‌ටමක්‌ ලබාදෙන ලෙසත්, පහසු ගෙවීම් ක්‍රමයට අදාළ පොලී අනුපාතය 1.5% සිට 0.75% දක්‌වා අඩුකරන ලෙසත් ය.

2000 දීත් 2006 දීත් මිලදීගන්නා ලද මිග් යානාවල මිල ගණන්වල වෙනස හා බෙලිමීසා හෝල්ඩින්ග්ස්‌ සමාගමට කරන ලද ගෙවීම් පිළිබඳව සියලු කරුණු මේ ගනුදෙනුවට අදාළ ලියකියවිලි පරිශීලනය කිරීමෙන් දැනගත හැක. 2006 මේ ගනුදෙනුව ගැන සැක පහළ වන ආකාරයට වාර්තා පළ කළ ඉංග්‍රීසි පුවත්පත් සතුව මේ ගනුදෙනුවට අදාළ සියලු ලියෑකියවිලි නොතිබුණු බව පැහැදිලිය.

මා මේ ලිපියේ සඳහන් කර තිබෙන කාරණා කියවා බලන අයෙකුට එසේ නම් මේ ආණ්‌ඩුව මිග් ගනුදෙනුව ගැන විමර්ශනය කරනවා යෑයි කියමින් කරන්නේ කුමක්‌ ද යන්න ගැන ප්‍රශ්නයක්‌ මතුවනු ඇත. 2006 දී මිග් ප්‍රහාරක යානා මිලදීගැනීමට හා අලුත්වැඩියා කිරීමට ගෙවූ මුදල ගැන හෝ බෙලිමීසා සමාගමට කළ ගෙවීම් ගැන විමර්ශනය කිරීමට නිමිත්තක්‌ නැත. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ භූමිකාව වැදගත් වන්නේ මෙතැනදීය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම- lankaevoicecom

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.