Header Ads

ආප්ප විඡේගේ කෙප්ප වලට රැවටුණු ජර්මන් සුද්දි


මෙරට සංචාරක කර්මාන්තය හා බැඳී ඇති කථාන්දර හරිම සුන්දරය. විටෙක රසවත්ය. ඇතැම් කථාන්දර අසන විට සිනහව නතර කරගැනීමට නොහැකිය. ඒ විතරක්‌ නොව සංචාරක ව්‍යාපාරයත් සමඟ අමුතුම තාලයේ චරිතද බිහි වී තිsබේ. මේ අයට ඇත්තේ ආරූඪ නම්ය. අප මේ කියන්නට යන්නේද එවැනි චරිතයක්‌ ගැනය. ඔහු ආප්ප විඡේය. මොහු මුහුදුකරය ආශ්‍රිත සංචාරක කලාපයක ආප්ප කඩයක්‌ පවත්වාගෙන ගිය අයෙකි. එකල ආප්ප විඡේ මෙකී සංචාරක කලාපයේ ජනප්‍රිය චරිතයකි. ඔහුගේ නම කියූ විට ඔහු ගැන නොදන්නා කෙනෙක්‌ නොමැති තරම්ය. ආප්ප විඡේගේ බහට රැවටී අමාරුවේ වැටී ඇති විදේශිකයන් සංඛ්‍යාවද අතිවිශාලය. කොටින්ම කිවහොත් ආප්ප විඡේ මොත්තකාරයකි. නො එසේ නම් මරිසිකාරයෙකි. විදේශිකයන් රැවැට්‌ටීමට මොහුට තිබුණේ පුදුම වූ දක්‌ෂතාවයකි. හැකියාවකි.

ආප්ප විඡේගේ ගැටවලට හසුවුවහොත් ඒ ගැටය ලිහා ගැනීමට නම් ඉතා අපහසු කාර්යයකි. මේ කාලය දකුණු පළාතට විදේශීය සංචාරකයන් පැමිණෙමින් තිබූ මුල් අවධියයි. එකල දැන් මෙන් සංචාරක කර්මාන්තය දියුණු තත්ත්වයට පත්ව තිබුණේ නැත. ආප්ප විඡේ සංචාරක කලාපයක ආශ්‍රිතව ආප්ප කඩයක්‌ දමාගෙන ආප්ප පුච්චමින් සිටි තැනැත්තෙකි. එකල ඔහු ගැටවර වියේ පසු වූ තරුණයෙකි.

ආප්ප විඡේගේ ආප්ප කඩයට මෙකී සංචාරක කලාපයේ සංචාරය කරන විදේශිකයන්ද පැමිණීමට පුරුදුව සිටියහ. එකල විදේශිකයන්ටද මෙය අමුතුම ජාතියේ කෑම වර්ගයක්‌ විය. ආප්ප විඡේ ආප්ප තම්බන අයුරු විදේශිකයන් මහත් උනන්දුවෙන් බලා සිටියහ. විඡේද නොයෙක්‌ හැඩ වැඩදමා ආප්ප පිච්චුවේය. හේ විටෙක බිත්තර ආප්ප තබන්නේය. තවත් විටෙක තාච්චි තුන හතරකින් ආප්ප තම්බන්නේය. එකල විදේශිකයන්ට මෙය අමුතු දෙයකි. ඒ විතරක්‌ නොව ආප්ප විඡේ විදේශිකයන් මිතුරු කරගැනීම සඳහා ආප්ප කඩයට එන විදේශිකයන්ට නොමිලේ ආප්ප දුන්නේය. ආප්ප විඡේට සුද්දෙකු අල්ලා ගැනීමට තරමේ ඉංග්‍රිසි හා ජර්මන් භාෂා හැසිරවීමේ හැකියාවක්‌ තිබුණේය.

ආප්ප විඡේගේ නා නා මාදිලියේ ක්‍රියාකාරකම් නිසාම ඇතැම් විදේශිකයන් මොහුත් සමග මිතුරු වී සිටියහ. මේ කාලයේදී ආප්ප විඡේ අතර මුදල් යහමින් ගැවසෙන්නටද විය. සුද්දන්ට නොයෙකුත් උප්පරවැට්‌ටි දමා මොහු තම අතමිට සරිකර ගැනීමට කටයුතු කළේය. මේ කාලයේ දී ආප්ප විඡේ අත නිතරම පාහේ විශාල මුදල් ගැවසුණේය. හේ ඇතැම් විට අපේ තරුණයන්ට පෙනෙන ලෙස දුම්වැටි පත්තු කළේ රුපියල් සියයේ කොළයකිනි. ඒ විතරක්‌ නොව මොහු පානය කළේ ඉස්‌තරම් වර්ගයේ මත්පැන්ය. දින දෙකතුනකට වරක්‌ මිතුරන් සමග සාදයන් පවත්වනු ලැබීය.

ආප්ප විඡේට පොඩි පහේ නඩු කිහිපයක්‌ද විය. හේ නීතිඥවරුන්ටද අත දිගහැර මුදල් වියදම් කළේය. තමන් අල්ලන නීතිඥයාට මොහු නඩු වාර පහකට පමණ එකවර මුදල් ලබා දුන්නේය. “සර් මේ දවස්‌වල මගේ ළඟ යහමින් මුදල් තියෙනවා. තව මාස දෙක තුනක්‌ යන විට මට මොකක්‌ වේවිද දන්නේ නැහැ. මුදල් තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන් ඒ නිසා ඔන්න නඩුවාර පහකටම මුදල් ගන්න” ආප්ප විඡේ නීතිඥවරුන්ට කිහ. කොටින්ම කිවහොත් නීතිඥවරුන් අතර පවා ආප්ප විඡේ ජනප්‍රිය චරිතයක්‌ විය. හොඳට කණ බොන අත දිගහැර මුදල් වියදම් කරන අයකු බවට ඒ වන විට ආප්ප විඡේ ගැන කොයි කවුරුත් දැන සිටියහ. පොලිස්‌ නිලධාරීන් වෙනුවෙන් ද මොහු සාදයන් සංවිධානය කළේය. සාදයන් සඳහා යන සියලු වියහියදම් දරනු ලැබුවේ ආප්ප විඡේ විසිනි.

කොටින්ම කිවහොත් ආප්ප විඡේ ගත කළේ කුමාර ජීවිතයකි. මේ කාලයේ දී ආප්ප විඡේට ජර්මන් ජාතික කාන්තාවක්‌ දැන හඳුනා ගැනීමට හැකිවූයේය. හේ ආප්ප විඡේට වඩා අවුරුදු දහ පහළොවක්‌ වැඩිමහල් තැනැත්තියකි. මේ වනවිට ආප්ප විඡේ විවාහ වී සිටියේය. ජර්මන් ජාතික විදේශීය කාන්තාව එරට අවන්හලක්‌ පවත්වාගෙන ගිය තැනැත්තියකි. ආප්ප විඡේ තමන් විවාහ වී සිටින බව ජර්මන් කාන්තාවට කිසි විටෙක කිවේ නැත. ඔහු ජර්මන් යුවතිය සමග හැසිරුණේ සම්බන්ධකම් පවත්වාගෙන ගියේ තනිකඩයකු ලෙසිනි. ටික කාලයක්‌ යනවිට ආප්ප විඡේ හා ජර්මන් කාන්තාව අතර දැඩි මිතු දමක්‌ ගොඩ නැඟීs තිබුණි.

“අපි දෙන්න එකතුවෙලා මේ රටේ ව්‍යාපාරයක්‌ පවත්වාගෙන යමු. හෝටලයක්‌ ඉදිකරලා අපි දෙන්න එකතුවෙලා ඒ ව්‍යාපාරය කරගෙන යමු” ජර්මන් ජාතික කාන්තාව යෝජනා කළාය. ඒ වන විටත් ආප්ප විඡේගේ වහසි බස්‌වලට හා උප්පරවැට්‌ටිවලට ජර්මන් කත රැවටි සිටියාය. හරි කිසි ප්‍රශ්නයක්‌ නැහැ මම කැමතියි නුඹව කසාද බඳින්න අපි දෙන්න එකතුවෙලා මේ ව්‍යාපාරය හොඳට කරගෙන යමු ආප්ප විඡේ කීවේය. ජර්මන් කාන්තාව මාස කිහිපයකට ජර්මනියට ගියාය. ඇය එරට පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතු විකුණා දමා එම මුදල් ද මෙරට ඉදිවන හෝටලය වෙනුවෙන් වැය කළාය.

හෝටලයේ ඉදිකිරීම සියල්ල ආප්ප විඡේ සියතට ගෙන තිබුණේය.ලක්‌ෂයක්‌ වියදම් වන වැඩකට හේ ලක්‌ෂ පහක බිලක්‌ දැමුවේය. එසේ නොකොට ආප්ප විඡේගේ කුමාර ජීවිතය පවත්වාගෙන යැමට නොහැකි විය.

හෝටලයේ ඉදිකිරීමේ කටයුතු කෙටිකාලයක්‌ තුළදී අවසන් විය. ආප්ප විඡේ හා ජර්මන් කත එක්‌වී හෝටලය පවත්වාගෙන යනු ලැබීය. හෝටලයේ සියලු පරිපාලන කටයුතු කරගෙන ගියේ ආප්ප විඡේය. ජර්මන් කාන්තාවගෙන් එයට විරුද්ධත්වයක්‌ නොවීය. මක්‌නිසාදයත් ඇය විවාහ කරගන්නා බවට ආප්ප විඡේ පොරොන්දුවක්‌ ලබා දී තිබූ බැවිණි. හෝටලයෙන් ලැබෙන සියලු ආදායම ලබා ගත්තේ ආප්ප විඡේය. ජර්මන් කාන්තාව විසින් ජර්මනියේ තම හිතවතුන් පවා මෙම හෝටලයට එවනු ලැබීය. ආප්ප විඡේ තමන් කසාද බඳින බවට ඇය බලාපොරොත්තු සහගතව බලාගෙන සිටියාය. එක්‌ සංචාරක සමයක්‌ද අවසන් විය. “අනේ ඔයා මාව කසාද බඳින්නේ කවදාද? අපි ඉක්‌මන්ට කසාද බඳිමු මගේ මිතුරියන්ද ඒ ගැන අහනවා” ජර්මන් කාන්තාව ආප්ප විඡේට කිවාය. හරි හරි ඊළගට එන සංචාරක සමයේදී අපි කසාද බඳිමු ආප්ප විඡේ කිවේය. ජර්මන් කාන්තාව සමඟ විවාහ වීමට ආප්ප විඡේට කිසිදු වුවමනාවක්‌ තිබුණේ නැත.

ආප්ප විඡේ විවාහ වී සිටි නිසා ලංකාවේ නීතිය අනුව ඔහුට යළි විවාහ වීමටද හැකියාවක්‌ නොතිබුණේය. විවාහවීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා ආප්ප විඡේ හා ජර්මන් කාන්තාව අතර ගැටුම් ආරවුල් ඇති වන්නට විය. ඇයව විවාහ කරගන්නා ලෙස ජර්මන් කාන්තාව දැඩි ලෙස ආප්ප විඡේට බලපෑම් කළාය. නමුත් ආප්ප විඡේ ඒ කිසිවක්‌ තුට්‌ටුවකට ගණන් ගත්තේ නැත.

ඊළඟ සංචාරක සමයද එළැඹිනි. ඔයා මට දීපු පොරොන්දුව ඉටු කරන්නේ කවදාද? බලන්න හෝටලයට මම විශාල මුදලක්‌ වියදම් කරලා තියෙනවා. ඒ විතරක්‌ නෙවෙයි ජර්මනියේ ඉන්න මගේ හිතවතුන්ද එවනවා. ඔයා තමයි හෝටලයේ සියලු ආදායම ගන්නේ. ඔයා මට දීපු පොරොන්දුවවත් ඉටු කරන්නේ නැහැ. ජර්මන් ජාතික යුවතිය ආප්ප විඡේට එසේ පැවසුවේ දැඩි කනගාටුවෙනි. ඒ විතරක්‌ නොව සංචාරක සමය අවසන් වී ගිණුම් වාර්තා බලන විට හෝටලය පවත්වාගෙ ගොස්‌ තිබුණේ පාඩු පිටය. ආදායමට වඩා වියදම වැඩි වී තිබුණි.

මේක හරියන්නේ නැහැ. ඔයා මාව කසාද බදින්නේ නැති එක දැන් ස්‌ථිරයි. හෝටලය මට පවරලා දෙන්න ජර්මන් කාන්තාව ආප්ප විඡේට කිවාය. ඒ වනවිට ආප්ප විඡේ විසින් මෙකී හෝටලය හා ඉඩම තම බිරිඳගේ නමට ලියා තිබුණි. ආප්ප විඡේ විසින් ඉඩම හා හෝටලය ජර්මන් යුවතියට පැවරීමට කටයුතු නොකළේය. මේ නිසා දෙදෙනා අතර ආරවුල් හා ගැටුම් පවා ඇතිවිය. ජර්මන් කාන්තාව මේ ගැන පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ දැම්මාය. ආප්ප විඡේගේ බිරිඳ ද ඒ සඳහා ඉදිරිපත් වූවාය.

“මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මේ ඉඩම හා හෝටලය අයිති මගේ නමට මේ හෝටලය ඉදිකරන්න මාත් වියදම් කළා. මට දැවැද්දට ලැබුණු මුදල් වියදම් කළේ හෝටලය වෙනුවෙන්. මේක අයිති මට” ආප්ප විඡේගේ බිරිඳ ජර්මන් කාන්තාවට කීවාය. මේ කථාව ඇසීමෙන් ජර්මන් යුවතියට හීන් දහඩිය දැම්මාය. ඇයට අවසානයේ විවාහයත් හෝටලයත් දෙකම නැතිවූවාය. නීති මගින් කටයුතු කිරීමට ඇයට හැකියාවක්‌ තිබුණේ ද නැත. තමන් කිසිදිනෙක මෙරට නොඑන බව පවසා ජර්මන් කාන්තාව මෙරටින් පිටවා ගියාය. ආප්ප විඡේගේ බිරිඳ පසුව මෙකී හෝටලය හා ඉඩම විකුණා දැමුවාය. මේ කථාව අපට කීවේ නීතිඥ තුෂාර ද සිල්වා මහතාය.

මේ වගේ චරිත අදත් සංචාරක ව්‍යාපාරය තුළ ඉන්නවා. වෙනත් රටවල නම් සංචාරක කර්මාන්තය පරිපාලනය කරන ආයතනයක්‌ තියෙනවා. ඒ සඳහා වෙන්වූ ප්‍රදේශ තියෙනවා. නිති රෙගුලාසි තියෙනවා. වෘත්තියක්‌ විදියට සංචාරක ව්‍යාපාරය කරන අයට තමයි මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ එහෙම තත්ත්වයක්‌ නැහැ. ආප්ප විඡේලා වගේ චරිත තමයි මේ කර්මාන්තය මෙහෙයවන්නේ. අපේ රටේ සංචාරක කර්මාන්තය අයාලේ ගිහින් තියෙන්නේ. රටක්‌ විදියට රටේ ආර්ථික ප්‍රතිපත්තියක්‌ විදියට සංචාරක ව්‍යාපාරය නියාමනය කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා යෑයි නීතිඥ තුෂාර ද සිල්වා මහතා කීවේය.

උපුටාගැනීම දිවයින පුවත්පත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.