Header Ads

විද්‍යා සමූහ දූෂණය කර මරා දැමූ සිද්ධියේ සැඟවුණු තවත් තොරතුරු අධිකරණයේදි දිග හැරේ .

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී සිගවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දූෂණයට ලක්කර ඝාතනය කළ සිද්ධියට අදාළ නඩුව ඊයේ යාපනය මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණ.

ඒ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

යාපනය , කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපති චින්තක එන්. බණ්ඩාර මහතා ඊයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ, 2015 මැයි මස 19 වන දා සුවිස්කුමාර නමැති සැකකරු තමන් කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

මෙම සාක්ෂිකරු වෙනත් නඩුවකට අදාළව 10 වසරක සිර දඬුවම් විඳිමින් සිටින අයකු වන අතර ඔහු අද අධිකරණයට පැමිණි ආකාරය විනිසුරුවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

මේ අතර කොළඹ කැසිනෝ හලක භාරකරුවකු වන අනුර ප්‍රියන්ත බස්නායක නමැති අයෙකු අද සාක්ෂි දෙමින් කියා සිටියේ සිව්වන සැකකරු මහාලිංගම් සෂිදරන් සිය කැසිනෝහලට පැමිණ සිටි අයුරු සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇති බවයි.

ඝාතනය සිදුවු දිනයේදී නඩුවේ 4 වන , 7 වන හා 9 වන සැකරුවන් කොටහේනේ පිහිටි අවන්හලකින් මත්පැන් මිලදී ගෙන ඇතැයි ද අද අධිකරණයේදී අනාවරණය විය.

මේ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ලැගුම්හලක භාරකරුවෙකු අධිකරණය හමුවේ කියා සිටියේ 2015 වසරේ මැයි මස 08 වන දා සිට සුවිස්කුමාර් කාමරයක් වෙන්කරගෙන තිබූ බවයි.

සිද්ධියට අදාළ දිනයේ ඔහු ලැගුම්හලේ සිටි බවට සාධක නොමැති බවත් ඔහු කියා සිටියේ ය.

නඩුවේ සැකකරුවන් මැයි මස 12 වන දා පුංකුඩුතිව් ප්‍රදේශයට ගොස් සමුහ දුෂණය සැලසුම් කර ඇති බව රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

මේ අතර යාපනය මුලස්ථාන පොලිසියේ හිටපු ස්ථානාධිපති මහින්ද බාලසුරිය අද සාක්ෂි දෙමින් කියා සිටියේ ශ්‍රී ගජන් නැමති උපපොලිස් පරික්ෂකවරයා සුවිස් කුමාර්ගෙන් ප්‍රශ්න කර මුදාහැර ඇති බවයි.

සැකකරු මුදාහැරීම පිළිබඳව ශ්‍රී ගජන් තමන්ට දැනුම් නොදුන් බවත් ඔහු සඳහන් කළේ ය.

මේ අතර ලබන 24 වන දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කයිට්ස් මහෙන්ස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතාට ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දන්වා තිබේ.



No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.