Header Ads

රටට දැවැන්ත පාඩුවක් කළ බැඳුම්කර වංචාව පිළිබඳව හෙළිවූ ප්‍රධාන කරුණු මෙන්න

සාක්‍ෂිකරුවන් රැසකගෙන් බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන ජනා‍ධිපති කොමිෂන් සභාව දින 62ක් පුරා සාක්ෂි සටහන් කර ගත්තේ ය.
මෙම බැඳුම්කර වංචාව සැබෑ ප්‍රතිලාභකරුවන් සැඟවී‍මේ රටාවකට සිදුවී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.

සාක්ෂි විමසීමේදී හෙළි වූ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබදවයි මේ අවධානය.

ජනාධිපති කොමිසම විමර්ශනය කරන බැඳුම්කර වෙන්දේසිය සිදුවුණේ, 2015 පෙබරවාරි 27 වන දා ය.

එම වසරේ වෙන්දේසිය සිදුකරන දින ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ, පෙර වසරේදී බව කොමිසමේදී අනාවරණය විය.

හිටපු ජනාධිපතිවරයාගේ අත්සනින් එය නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණාලයාධිපතිනියට උපදෙස් දී ඇති බව ත් හෙළි වූ තව ත් කරුණකි.

අදාළ දිනයේ වෙන්දේසිය සිදුවන වෙලාවේදී හා ඉන් පසුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට හිටපු මහ බැංකු අධිපතිවරයා දෙවරක් පැමිණි බව මේ දක්වා ඉදිරිපත් වූ බොහෝ සාක්ෂිකරුවෝ දිවුරා ප්‍රකාශ කළහ.

සාක්ෂිකරුවන්ට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ, ප්‍රකාශ කළ රුපියල් බිලියනයක් ලබා ගැනීම වෙනුවට රුපියල් බිලියන 10ක් වටිනා ලංසු පිළිගන්නා ලෙස ය.

නමුත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිර්දේශය වි ඇත්තේ, රුපියල් බිලියන 2.6ක් ලබා ගැනීම බව ද කොමිසමේදී අනාවරණය විය.

අදාළ වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ලංකා බැංකුව රුපියල් බිලියන 13 ක ලංසු ඉදිරිපත් කර තිබේ.

වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ ප්‍රාථමික ගැණුම්කරුවෙක් තවත් ගැණුම්කරුවෙකු වෙනුවෙන් ප්‍රථම වරට ලංසු ඉදිරිපත් කළ අවස්ථාව මෙය බව ය.

ෆස්ට් කැපිටල් හෝල්ඩින්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් එම බැඳුම්කර වෙන්දේසියේ අක්‍රමිකතාවයක් සිදුවන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ප්‍රකාශ කර ඇතැයි ද අනාවරණය විය.

වෙන්දේසියට පෙර තිබූ මූල්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ, වසර 30කට බැඳුම්කර නිකුත් කිරීමට නොව වසර 30 ක් සඳහා බැඳුම්කර විකිණීමට ඇති අවකාශය පිළිබඳව සොයා බැලීමට ය.

නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා විශ්වාසය පළ කළේ, වෙන්දේසියට පෙර තොරතුරු මහ බැංකුවෙන් පිටතට ගොස් ඇති බව ය.

මහේන්ද්‍රන්ට අවශ්‍යව තිබුණේ, පොලී අනුපාත ඉහළ නැංවීමෙන් බැඳුම්කර වෙළෙඳපොළට කම්පනයක් ඇති කිරීමට බව නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ය.

වෙන්දේසියට පෙර දිනයේ දිවා භෝජන හමුව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහි සාකච්ඡාව වූයේ එවක අඩාලව තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් ලබා දීම බව ද කොමිසම හමුවේ අනාවරණය වූ තව ත් කරුණකි.

සාක්ෂිකරුවන්ට අනුව එවැනි මුදල් ලබා දීමේ තීරණයක් නොතිබූ බව ද ප්‍රකාශ විණි.

මහේන්ද්‍රන් මහතාගේ නීතිඥවරුන් රවි කරුණානායක මහතාගේ අත්සනින් යුත් රුපියල් බිලියන 75 ක් නිකුත් කරන ලෙස නියෝග කරන ලිපියක් කොමිසමට ඉදිරිපත් කරන අවස්ථාවේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණේ එහි දිනයක් සඳහන්ව නොතිබූ බැවිනි.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු හවුල විසින් පිළියෙළ කරන ලද අනවසරයෙන් පිටතට රැගෙන ආ මහ බැංකු වාර්තාවක් ඔවුන් කොමිසමට ඉදිරිපත් කළේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනවසරයෙන් පිටතට රැගෙන ආ මෙම වාර්තාව පිළිබඳව පරික්ෂණයක් පවත්වන බවට කොමිසම පොරොන්දු විය.

විගණකාධිපතිවරයාට අනුව වසර 30 ක බැඳුම්කර නිකුත් කර ඇත්තේ, අඩු පිරිවැයකින් යුත් අනෙක් මුදල් එක්රැස් කිරීමේ මාර්ග තිබියදී ය.

ඔහුට අනුව ප්‍රශ්නගත පෙබරවාරි 27 වන දින බැඳුම්කර වෙන්දේසියේ පාඩුව රුපියල් මිලියන 889.358 කි.

2015 පෙබරවාරි 27 වන දා සහ 2016 මාර්තු 29 වන දා නිකුත් වූ බැඳුම්කර වෙන්දේසියේ මුළු පාඩුව රුපියල් බිලියන 1.674ක් බව විගණකාධිපතිවරයා පවසයි.

මාර්තු මස තිබූ බැඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මුදල් ලබාගෙන ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල්වලින් බව ද කොමිසම හමු‍වේ හෙළිවිණි.

බැඳුම්කර ගණුදෙනුවල සැබෑ ප්‍රතිලාභකරුවන් සැඟවීමෙ කතාවක් නිර්මාණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ද කොමිසමේදී අනාවරණය කළේ ය.

එය සිදුවන්නේ, සේවක අර්ථ සාධක අරමුදලට පාඩු කරමිනි.

සේවක අර්ථ සාධක අරමුදල අඩු මිලකට බැඳුම්කර විකුණා යළි එම බැඳුම්කර අධික මිලකට මිලදී ගන්නා බව අනාවර‍ණය විය.

හිටපු අධිපති ඩබ්ලිව්. විජේවර්ධන මහතා පැවසුවේ, සේවක අර්ථ සාධක අරමුදල ප්‍රශ්නගත කාලය තුළදී ද්විතීක වෙළෙඳපොළින් මිලදී ගත් රුපියල් බිලියන 140ක් වටිනා බැඳුම්කරවලින් 80%ක් මිලදී ගෙන ඇත්තේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමා‍ගමෙන් බව ය.

2013දී සංශෝධනය වූ පද්ධතියට එක් කරන සං‍ඛේත නිසි ලෙස ඇතැම් ප්‍රාථමික ගැනුම්කරුවන් අනුගමනය නොකළ බව ද කොමිසම හමුවේ අනාවරණය විය.

හිටපු කෝප් සභාපති ඩීව්. ගුණසේකර සහ වත්මන් කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේ කෝප් පරික්ෂණය පිළිබඳව ය.

මේ දක්වා ජනාධිපති කොමිසම ඉදිරියේ මෙම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන් 28 දෙනෙකු කැඳවා තිබේ‍.

සංශෝධිත විගණන පනතට අදාළ ගැසට් පත්‍රිකාව තවමත් නිකුත් කර නොමැත.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ.එන්.එම්. කුමාරසිංහ මහතා පැවසුවේ, කෙටුම්පතේ අට එක වගන්තියට අනුව විගණකාධිපතිවරයාට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභ ඉපැයූ ආකාරය විමර්ශනය කිරීමට අයිතියක් ඇති බව ය.

එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව විගණකාධිපතිවරයාට එලෙස ක්‍රියාත්මක වීමට ‍නොහැකි තත්ත්වයක් උදාවී තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.