Header Ads

සෞඛ්‍යයට හිතකර පච්ච ගහන අලුත්ම විදිහ මෙන්න.

පච්ච කෙටීම මානව ශිෂ්ටාචාරය ආරම්භයේ සිටම මිනිසාට සම්බන්ධ සංසිද්ධියක් වුවත් වර්තමානයේ සිවිල් සමාජය තුළ බොහෝ විට පච්ච හා සම්බන්ධ පොදු ආකල්පයක් වන්නේ අශිෂ්ට නැතහොත් අසභ්‍ය යන්නයි.

එවැනි සමාජ එකාකෘතියක් ඇති වීමට සාධාරණ වන හෝ නොවන හේතු සාධක බොහෝමයක් තිබිය හැකි නමුදු ටෙලෙස්කෝප් අවධානය අද දින යොමු වන්නේ, ඔබ පුදුමයට පත්විය හැකි නමුදු, සත්‍ය වශයෙන්ම සෞඛ්‍යමය පැත්තෙන් ශරීරයට යහපතක් ගෙන එන පච්ච කෙටීමක් පිළිබඳවයි.

එම්. අයි. ටී. විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාර විසින් පච්ච සහ ජෛව තාක්ෂණය එකට එක් කරමින් ජෛව සංවේදී නව තීන්ත වර්ගයක් නිමවා තිබෙන්නේ, එය තැවරූ පසු අපගේ සම දෙස බැලීමෙන් අපගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිරවද්‍ය තොරතුරු ලබා දීමේ හැකියාවක් ඇති කරමිනුයි.

Dermal Abyss නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය එම්. අයි. ටී. විශ්වවිද්‍යාලයේ සහ හාවඩ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර සහයෝගිත්වයෙන් ගොඩනැඟුණක්. ඔවුන්ගේ අදහස වූයේ පච්ච හරහා අපගේ හම අන්තර්ක්‍රියාකාරි සන්දර්ශකයක් බවට පත් කිරීමයි. ඔවුන් නිමැවූ මෙම පච්ච තීන්ත වර්ගයට ශරීර සෞඛ්‍ය හෙළිකරන පී. එච්., ග්ලූකෝස්, අන්තරාල දියරයේ සෝඩියම් අයන මට්ටම් වැනි දර්ශක ශරීරයේ එම සංඝටකවල පවතින මට්ටම අනුව පැහැය ඉබේ වෙනස් කිරීමේ හැකියාවක් ලබාදී තිබෙනවා.

පී. එච්. සංවේදකය දම් සහ රෝස පැහැයන් අතර වෙනස් වන අතර ග්ලූකෝස් සංවේදකය නිල් සහ දුඹුරු පැහැයන් අතර වෙනස් වෙනවා. සෝඩියම් සහ දෙවැනි පී. එච්. සංවේදක පාරජම්බුල එළිය සමට එල්ල කළ විට ප්‍රතිදීප්තිමත් වෙනවා.

මේ වන විට මෙම තීන්ත උෟරන්ගේ සමේ අත්හදා බලා තිබෙනවා. මිනිස් සමට එය අනුගත කිරීම නුදුරු අනාගතයේ සිදුවූ විට, එය දියවැඩියා රෝගීන් වැන්නන්ට තමන්ගේ රුධිරයේ සීනි සාන්ද්‍රණය, වේදනාකාරී සහ මිල අධික රුධිර පරීක්ෂාවලින් වැළකී තම අත දෙස බලා දැන ගැනීමට පහසුවක් ලැබේවි. ඒ වාගේම පච්ච විලාසිතාවලින් තම ශරීරය (සම) හැඩකරන්නට පෙලඹෙන්නන්ටත්, තම ශරීර සෞඛ්‍යයේ තත්ත්වය සැමටම පෙන්වමින් හැසිරෙන්නටත් අවස්ථාවක් උදාවෙයි.
උපුටා ගැනිම - මව්බිම

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.