Header Ads

ජාඇල Facebook සාදයෙන් පස්සේ ත්‍රීවීල් රථයේ ගිය කෙල්ලෝ දෙන්නට වෙච්ච දේ


මුහුණු පොතෙන් හදුනාගත් පිරිසක් සමග කොටුගොඩ උදම්මිට හෝටලයක පැවැති සාදයකට සහභාගි වූ තරුණියන් දෙදෙනකු ත්‍රිරෝද රථයක නංවාගෙන කැලෑබද ප්‍රදේශයට රැගෙන ගොස්, ලිංගික අතවර කිරීමට උත්සාහ කළ දෙදෙනකු සීදුව පොලීසිය ඉරිදා (16)දා අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ හදුනාගත් පිරිසක් එක්ව සාදයක් පවත්වා එහිදී මත්ද්‍රව්‍ය භාවිතා කර අසභ්‍ය ලෙස හැසිරීම නිසා උදම්මිට ගම් වැසියන් විරෝධය පළ කිරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා ජාඇල පොලීසිය සහ සීදුව පොලීසිය කටයුතු කර තිබුණු අතර, සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කරමින් මෙම සාදයේ පළමු අදියර මින් පෙර දින පමුණුගම ප්‍රදේශයේදී පවත්වා තිබූ බවත්, ඊට සහභාගි වූ තරුණ තරුණියන් විශාල පිරිසකගෙන් අඩක්ම උදම්මිට පැවැති මෙම සාදයට ද සහභාගි වී තිබූ බවත් මේ සදහා එක් අයකුගෙන් රුපියල් 2,500ක් අයකර තිබූ බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වු බව පොලීසිය පවසයි. සිද්ධියට මුහුණුපෑ තරුණියන් දෙදෙනාද එම සාදයේ සිට හෝටලයෙන් පිටතට පැමිණ මාර්ගයේ පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයකට නැගී ප්‍රධාන මාර්ගයෙන් බස්සන ලෙසට ත්‍රිරෝද රථ රියැදුරුට පවසා ඇති අතර, එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ සිටි තවත් පුද්ගලයෙක් “සිද්ධිය අපි දන්නවා. අපි එක්ක යන්න බය වෙන්න එපා” යැයි පවසා තරුණියන් දෙදෙනාව ප්‍රධාන පාරට යෑම වෙනුවට රන්දෝලි මාවතේ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇත.

සිද්ධියෙන් බිය වූ තරුණියන් දෙදෙනාගේ කෑගැසීමත් සමග එහි සිටි පුද්ගලයකු කෑගැසුවොත් මරන බවට තර්ජනය කර ලිංගික අතවර කිරීමට උත්සාහ කර තිබූ බව පොලීසිය පවසයි.

මෙම සිද්ධිය පිළිබදව ලැබුණු දුරකතන ඇමතුමක් මත සීදුව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු පොලිස් කණ්ඩායමක් රන්දෝලි මාවතට වහා ගොස් අතවරයට පත්ව සිටි තරුණියන් දෙදෙනා බේරාගෙන සීදුව පොලීසියට ගෙනවිත් මීගමුව අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර තිබේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.