Header Ads

ඒකාබද්ධ විපක්ෂය දෙදරලා - 7 දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වෙනවා.

ඒකාබද්ධ විපක්ෂය අද වනවිට දෙදරා ගොස් ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළදී එම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 7 දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවත් නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂයට නිසි දේශපාලන දැක්මක්, සංයුතියක් හෝ නායකත්වයක් නොමැති වීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පසුගියදා ජනාධිපතිවරයා සමඟ එක්වූවා සේම ඔවුන්ද අස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වනු ඇති බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

පටු දේශපාලන අරමුණු සිත තුළ තබාගත් බහුතරයක් පිරිස අද වනවිට ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින බව පැවසූ හෙතෙම කියා සිටියේ 2025 වනවිට මෛත්‍රිපාල සිරිසේන මහතා වුවද තම නායකත්වය තවත් අයකු වෙත භාරදී පක්ෂයේ අනුශාසකවරයෙක් වශයෙන් සිටිය යුතු බවයි.

අගෝස්තු මස 1 වැනි දිනට කරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ජනාධිපතිවරයා සමඟ පක්ෂයක් ලෙස ඉදිරියට යන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිස වැඩි වී ඇති බවත් සභාපතිවරයා පැවැසීය.

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරන බවද ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.