Header Ads

රවීගේ හොර මගඩි වැඩ තවමත් සක්‍රීයයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා නීති විරෝධී ලෙස රාජ්‍ය ලාංඡනය තම ලිපි ශීර්ෂවල භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් රජයේ මුදල් වැය කරන දේශපාලන ව්‍යාපෘතියක නිරත වී සිටින බව අනාවරණය වෙයි.

ඔහු මේ කටයුත්තට යොදාගෙන තිබෙන්නේ 'ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2017' නමැති ව්‍යාපෘතියයි. පසුගියදා විදේශ ඇමැති පදවියෙන් ඉවත් වූ රවි කරුණානායක මහතා දැනට සාමාන්‍ය මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය නිල ලාංඡනය සහිත ලිපි ශීර්ෂ යොදා ගෙන එක්සත් ජාතික පක්ෂයේ සියලුම කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ටත් 2017 අගෝස්තු 22 දාතමින් යුතු ලිපියක් යොමු කර ඇත.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ඉහත ව්‍යාපෘතිය සඳහා මැතිවරණ කොට්ඨාසයකට රුපියල් කෝටි 2 බැගින් ප්‍රතිපාදන දීමට අදාළ ෆෝරමය පුරවා එවන ලෙසද දන්වා ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර විමසීමට දුරකතන අංක 2ක්ද ඔහු යැවූ ලිපියේ සඳහන් කර ඇති අතර ඊට ඇමැතීමේදී ඒවා රවි කරුණානායක මහතාට අරලියගහ මන්දිරයෙන් වෙන්කොට ඇති අංක 105 දරන කාර්යාලයෙන් බවද හෙළි විය.

රවි කරුණානායක මහතා එම ලිපිය යොමු කොට තිබෙන්නේ අගමැති, එජාප මහ ලේකම්, සභාපති ඇතුළු එජාපයේ ඇමැතිවරුන් 10 දෙනකුට පිටපත් යොමු කරමින්ය.

එමෙන්ම අදාළ ව්‍යාපෘතිය පිළිබඳ අඩි 4×3 ප්‍රමාණයේ නාම පුවරුවක් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ස්ථානයේ සවි කරන ලෙසද ඒ සඳහා රුපියල් 6,000කට නොවැඩි මුදලක් ව්‍යාපෘති ඇස්තමේන්තුවට ඇතුළත් කරන ලෙසද කරුණානායක මහතා එම ලිපියෙන් උපදෙස් දී ඇත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.