Header Ads

සයිටම් ජනපවුර සංවිධානයේ ‘ගිනි ගත් රාත්‍රිය’ හෙට සිට ක්‍රියාත්මකයි

සයිටම් විරෝධී ජනපවුර සංවිධානය කරන, මුළු රටපුරා ස්ථාන පනහක ක්‍රියාත්මක 'ගිනි ගත් රාත්‍රිය' විරෝධතා වැසටහන හෙට (30දා) ක්‍රියාත්මක කරන බව, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත පැවැසීය.

එම විරෝධතා රාත්‍රියෙන් දෙසතියකට පසු හයිලෙවල් පාර, හොරණ පාර, ගාලු පාර, නුවර පාර සහ පුත්තලම පාර ඔස්සේ ලබන 15 වැනිදා මහා රථ පෙළපාළි පහක් කොළඹට පැමිණෙන බවත්, ඉන් අනතුරුව සෞඛ්‍ය සේවයේ සහ අධ්‍යාපන සේවයේ සියලුම අංශ එක්වී වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ ලාල් කාන්ත මහතා එය දීප ව්‍යාප්ත මහා වැඩ වර්ජනයක් බවට පරිවර්තනය වන බවත් පැවැසීය.

'සයිටම්' ආයතනය වසා දමා මෙම අර්බුදය විසඳන තත්ත්වයට කරුණු යෙදී ඇතැයි සඳහන් කළ ලාල් කාන්ත මහතා, වෛද්‍ය පීඨ අටේම පීඨාධිපතිවරු කාටත් පිළිගත හැකි සාධාරණ විසඳුම් ඉදිරිපත් කර තිබියදීත් මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුව තවදුරටත් අපොහොසත් වන්නේ නම්, සයිටම් විරෝධී ජනපවුර ක්‍රියාත්මක කරන විරෝධතා ව්‍යාපාර නිසා ජනතාවට මුහුණපාන්නට සිදුවන ගැටලුවලට රජය වගකිවයුතු ඇතැයිද එම වගකීම රජය භාරගතයුතුව ඇතැයිද සඳහන් කළේය.

පවතින අර්බුද අතර ප්‍රධානම අර්බුදය බවට 'සයිටම්' අර්බුදය පත්ව ඇති බවත් මෙම අර්බුදය විසඳීම සඳහා විසඳුම් 28දා ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවත් විසඳුම් ලබාදීම වෙනුවට, ඊයේ (28දා) සවස් වන තුරුම ජනාධිපතිවරයා නිරන්තරව අනුගමනය කරන නිහඬ පිළිවෙත අනුගමනය කිරීමෙන් රටම වැඩවර්ජනයකට තල්ලු කරන තත්ත්වයක් නිර්මාණය වි ඇති බවද ලාල් කාන්ත මහතා පැවැසීය.

මේ ප්‍රශ්නය බදාදා (30දා) වනවිට විසඳුණේ නැතිනම්, තවත් දුරදිග යෑම වැළැක්විය නොහැකි යැයිද ප්‍රශ්න ඔඩුදිවීමට ඉඩ නොදී බලධාරීන් ඉදිරිපත් වී ප්‍රශ්නයට නිසි විසඳුම් ලබා දියයුතුව ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පැවැසීය.

"වෛද්‍ය විද්‍යාල අටේම පීඨාධිපතිවරු සහ ආචාර්යවරු මේ ගැටලුව විසඳීම සඳහා ප්‍රායෝගික යෝජනා හතරක් ඉදිරිපත් කර තිබියදී, ඒවා විසඳීමට ක්‍රියා නොකර සමස්ත වැඩවර්ජනයකට රට තල්ලු කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා" යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවැසීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.