Header Ads

ඉගෙනීමෙහි දක්ෂයකු නොවූ තොල්ස්තෝයිගේ ජීවිත කතාව

රුසියානු ලේඛක ලියෝ තොල්ස්තෝයි අදටත් වර්ගීකරණය කෙරෙන්නේ ලොව මුල් පෙළේ ලේඛකයන් අතරය. 

1828 සැප්තැම්බර් 9 වැනිදා රුසියාවේ ටූලා පළාතේදී උපන් තොල්ස්තෝයි සිය පළමු මහා නවකතාව වන යුද්ධය හා සාමය ලියන විට වයස තිස් ගණනකි. 

ඔහුගේ දෙවනුවට වඩාත් ප්‍රකටම නවකතාව වන ඇනා කැරනිනා ලියන විට ඔහු හතළිස්පස් හැවිරිදි වියේ පසු විය.

තොල්ස්තෝයිගේ මව ඔහු දෙහැවිරිදි වියේ සිටියදීම ජීවිතයෙන් සමුගත්තාය. ඉන් පසු ඔහු සහ සොහොයුරන් තිදෙනාගේ බාරකාරත්වය පැවැරුණේ නැන්දණියටයි. 

එහෙත් ඊට සත් වසරකට පසු අවාසනාවන්ත ලෙස ඇය ද මිය ගියාය. එවක් පටන් තොල්ස්තෝයි සහ සොහොයුරන් හදාවඩා ගත්තේ තවත් නැන්දණියක විසිනි. 

ලියෝ තොල්ස්තෝයි සිය ළමාවිය මතක අවදි කරමින් පසු කලෙක සඳහන් කළේ එය අහිමිවීම්වලින් පිරි එකක් වූ බවය.

තොල්ස්තෝයි ඉගෙනීමට දක්ෂයෙක් නොවිණි. ප්‍රාථමික අධ්‍යාපනය නි‍ෙවසේදීම ලැබු ඔහු කසාන් විශ්වවිද්‍යාලයෙන් පිටවූයේ උපාධිය නොලබාය. 

එවක් පටන් ඔහු වෑයම් කළේ දක්ෂ ගොවියකු වීමටයි. එහෙත් එය ද අසාර්ථක විණි. සිය සොහොයුරා වූ නිකොලායිගේ මඟපෙන්වීම මත හමුදා සේවයට එක්වූ ලියෝ 1850 ගණන්වලදී ක්‍රිමියානු යුද්ධයට ද සම්බන්ධ විය.

ලියෝ තොල්ස්තෝයිගේ පළමු කෘතිය ලෙස ප්‍රකාශයට පත්වූ ‘ද චයිල්ඩ්හුඩ්’ ඔහු අතින් ලියැවුණේ මේ වකවානුවේදීය. එය ඔහුගේම ළමාවිය මත පදනම් වූ චරිතාපදානමය කතාවකි. 

එවක් පටන් මියයන තෙක්ම දිනපොත ලිවීම ඔහුගේ චර්යාවක් විය. යුද පෙරමුණේ සිටියදී පවා ඔහු ලිවීම නතර කළේ නැත. තොල්ස්තෝයිගේ දෙවන කෘතිය ලෙස ප්‍රකාශයට පත්වූ “සෙවස්තපෝල් ටේල්ස්” නම් තුන් ඈඳුතු නවකතාවට පසුබිම් වූයේ ද ක්‍රිමියානු යුද්ධයයි. 

ඔහු එය ලීවේ ද යුද්ධය අතරතුරය. ක්‍රිමියානු යුද්ධය නිමා වීමත් සමඟ ඔහු හමුදාව හැර ගියේය. රුසියාවට පැමිණි තොල්ස්තෝයි ශාන්ත පීටස්බර්ග් සාහිත්‍ය කරළියේ කැපී පෙනෙන භූමිකාවක් බවට පත්විණි. “ඇනා කැරනිනා” ප්‍රකාශයට පත්වීමත් සමඟ තොල්ස්තෝයිගේ ආදායම් තත්ත්වය ද වේගයෙන් වර්ධනය විය.

සිය ආගමික විශ්වාසයන්ගෙන් ඔහු මිදු‍ෙණ් රුසියානු ඔර්තඩෙක්ස් පල්ලියෙන් ද දුරස් වෙමිනි. තමා අරාජිකවාදියකු බව ඔහු විසින්ම හඳුන්වා දුන්නේය. 

රහස් පොලීසිය ඔහු පසුපසින් වැටෙන්නට තරම් මේ වෙනස්කම් බලපෑවේය. මුදලට ඇති ආසාව ද ඔහු අත්හළේය. එය ඔහු සහ බිරිය, සොෆියා අතර විරසකයක් ඇතිවීමට හේතු විණි. 

ඔවුන්ගේ විවාහය දෙදරා යන තරමටම එය දිග්ගැසෙද්දී සිය කෘතීන්වල නෛතික හිමිකාරිත්වය සොෆියාට පැවරීමට තොල්ස්තෝයි ක්‍රියා කළේය.

තොල්ස්තෝයිගේ පසුකාලීන නිර්මාණවලින් ඔහුගේ අනාගමික හැඟීම් මෙන්ම යථාර්ථවාදී නැඹුරුව පිළිබිඹු වේ. කෙසේ වුවද, සිය ජීවිතයේ අවසන් දශක තුන ඔහු ගත කළේ සදාචාරාත්මක හා ආගමික නායකයකු ලෙසිනි. 

ඔහු අහිංසාවාදය ඉහළින් පිළිගත්තේය. නැවතත් ආගමික ජීවිතය දෙසට නැඹුරු වීමට ඔහු වෑයම් කළේය. එහෙත්, ඔහුගේ විශ්වාසයන් හා සොෆියාගේ දැක්ම අතර බලවත් වෙනස්කම් තිබිණි. එය ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපෑවේය.

මුල් පෙළේ නවකතාකරුවන් බොහෝ දෙනා පවසන පරිදි මෙතෙක් බිහි වූ විශිෂ්ටම නවකතාකරුවා ලියෝ තොල්ස්තෝයිය. මෙතෙක් බිහි වූ විශිෂ්ටම නවකතාව ලෙස පිළිගැනෙන්නේ “යුද්ධය හා සාමය” යි. එය වචන 400,000කටත් වැඩි කෘතියකි. තොල්ස්තෝයිගේ විශිෂ්ටම කෘතිය ලෙස විචාරකයන් සලකන්නේ “ඇනා කැරනිනා”ය.

තොල්ස්තෝයි අවම ව‍ශයෙන් භාෂා 6ක් දැන සිටියේය. ලියෝ තොල්ස්තෝයි යනුවෙන් ලෝ පතළ වුවද ඔහුගේ සැබෑ නම ලෙව් නිකොලායෙටිච් තොල්ස්තෝයිය. 

තොල්ස්තෝයි සිය දෛනික චර්යාව මැනවින් සැලසුම් කරගත් ලේඛකයෙකි. ආචාරධාර්මික නීති රීති සම්ප්‍රදායකට අනුව ඔහු ජීවිතය හැඩගස්වාගෙන තිබිණි. ඉන් සමහර පුරුදු අදට ද ගැළපේ. 

රාත්‍රී 10.00ට නින්ද ගොස් උදෑසන 5.00ට අවදි වීම පමණ ඉක්මවා ආහාර නොගැනීම, පැණි රස කෑම අවම කිරීම වැනි දෑ ඒ අතර තිබේ. දවස ගත කළ අයුරු සටහන් කරන තොල්ස්තෝයි පසු දින ගත කරන ආකාරය ද සැලසුම් කිරීමට පුරුදු වී සිටියේය. 

සංගීතය රස විඳීමේ පටන් කාඕ සෙල්ලම් කිරීම දක්වා සෑම දෙයක්ම පිළිවෙළකට කිරීම තොල්ස්තෝයිගේ සිරිත විය. වර්ෂ 1862 දී විවාහ ජීවිතයට ඇතුළු වන විට තොල්ස්තෝයි 34 හැවිරිදි වියේ පසුවූ අතර සොෆියා 18 හැවිරිදි වියේ පසුවිණි. 

දෙදෙනා පළමු වරට හමුවී සති කිහිපයකින් විවාහය සිදු විය. ඔහු “යුද්ධය හා හාමය” ලිවීම ඇරැඹුවේ ද මේ වර්ෂයේදීමය. එහි පළමු පිටපත ලියා නිම වන විට වසර 3ක් ගත වී තිබිණි. නැවත නැවත ලිවීම තොල්ස්තෝයිගේ ශෛලිය වූ බැවින් ඊට කාලයක් ගත විය. 

“යුද්ධය හා සාමය” ලියා නිම කිරීමට ඔහුට සිය බිරියගෙන් ලැබුණේ අගනා සහායකි. වසර 7ක් තිස්සේ ඇය එම සමස්ත අත්පිටපත අට වතාවක්ම යළි යළිත් ලීවාය. 

ඇතැම් තැන් 30 වතාවක් පමණ යළි යළි ලිවීමට සිදු විය. සොෆියා එම කැපවීම කළේ දේපළ හා ව්‍යාපාර කටයුතු ද බලා ගනිමිනි. මේ සියල්ල අතර ඔවුන්ට දරුවෝ 13 දෙනෙක් ද වූහ. තොල්ස්තෝයි දාර්ශනික අදහස් හා මතවාද සැපයූ ලේඛකයෙකි. 

රාජ්‍යයේ භූමිකාව හා දේපළ අයිතිය ගැන ඔහුගේ අදහස් සාර් පාලනය සමඟ ගැටිණි. සාර් පාලනය ඔහු පොලිස් සුපරීක්ෂාව යටතේ තැබීය. රුසියානු ඔර්තඩොක්ස් පල්ලිය වර්ෂ 1901 දී ඔහු පල්ලියෙන් නෙරපා හැරියේය.

රාජකීයයන් මෙන්ම පල්ලියද තොල්ස්තෝයිගේ ජනප්‍රියත්වය හීන වනු දැකීමට රිසි විය. එහෙත්; ඔහු වටා ආධ්‍යාත්මික නායකයකු වටා රොක් වන්නාක් මෙන් අනුගාමිකයෝ පෙළ ගැසුණහ. තොල්ස්තෝයිගේ දර්ශනය මහත්මා ගාන්ධිට සහ මාටින් ලුතර් කිංට පවා ආභාසයක් වූ බව පිළිගැනේ.

සිය බිරිය සොෆියාගේ සහාය තොල්ස්තෝයිගේ සාහිත්‍ය ජීවිතයට විශාල අත්වැලක් විය. එහිදී ඇය දැඩි කැපකිරීමක් කළ බව පැහැදිලි වේ. එසේ වුවද තොල්ස්තෝයිගේ ජීවන දැක්ම හේතු කොටගෙන ඇති වූ වෙනස්කම් වඩා බරපතළ විය. 

ජීවිතයේ සැඳෑ සමය එළැඹෙන විට ඔහු පවුලෙන් විතැන් වන තරමටම කටයුතු යෙදී තිබිණි. 82 හැවිරිදි වියේ පසුවූ තොල්ස්තෝයි 1910 වසරේ එක් මැදියම් රැයක නිවසින් පිට විය. ඔහුගේ තනියට ඔහු සමඟ පැමිණියේ එක් දියණියක පමණි.

ශ්‍රේෂ්ඨ ලේඛකයාගේ අතුරුදන් වීම විශාල මාධ්‍ය අවධානයක් යොමු වූ කාරණයක් විය. ඔහු වන්දනා ගමනක යෙදී සිටින්නේ යැයි ද ප්‍රචාරය කෙරිණි. දින කිහිපයකට පසු ඇස්තාපොවෝ දුම්රිය පොළේ සිටියදී ඔහු හමු විය. 

වීඩියෝ කැමරා ද සහිතව මාධ්‍යකරුවන් පිරිසක් ද, විශාල ජනකායක් ද එහි රැස්ව සිටිනු දැකගැනීමට ලැබිණි. මේ පිරිස අතර සොෆියා ද සිටියාය. අසනීප තත්ත්වයෙන් පසුවූ තොල්ස්තෝයි ආපසු නි‍ෙවසට කැඳවාගෙන යෑමට පරිශ්‍රමයක් දැරුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 

1910 නොවැම්බර් 20 වැනිදා ඇස්තාපොවෝ දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිවහනේදී ජීවිතයෙන් සමුගෙන තිබිණි. ඔහුගේ මරණයට හේතුව නිව්මෝනියා රෝගී තත්ත්වයයි.

මහා ලේඛකයාගේ මරණය ඔහු මැවූ ඇනා කැරනිනාගේ මරණයට බෙහෙවින් සමීප විය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.