Header Ads

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේදී බරපතල මූල්‍ය අක‍්‍රමිකතාවක්

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ දී විධිමත් ගිවිසුමක් පවා අත්සන් නොකරමින් රාජ්‍ය මුදල් සම්පේ‍්‍රෂණය කිරීමෙන් සිදුවන බරපතල මූල්‍ය අක‍්‍රමිකතාව පිළිබඳ විගණකාධිපතිතුමාට පැමිණිලි කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යොමු කර තිබේ.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

පසුගිය දින වල ජනමාධ්‍ය වාර්තා කර සිටි පරිදි මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලක් වන නෙවිල් ප‍්‍රනාන්දු රෝහල 2017 අගොස්තු 1 දින සිට රජයට පවරා ගැනිමක් සිදු වන බව දැනගන්නට ලැබිණු බවත් එමෙන්ම අගෝස්තු මස සිට මාසිකව රුපියල් මිලියන 200 ක මුදලක් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වියදම් වෙනුවෙන් රජය වැය කරන බව මුලින් ප‍්‍රකාශකර පසුව තවත් රුපියල් මිලියන 50 ක මුදලක් රෝහලේ ඖෂධ වෙනුවෙන් රජය විසින් මාසිකව ලබා දෙනු ඇති බව ද එම ලිපියේ සඳහන්වේ.

ඒ අනුව වර්ෂයක් සඳහා රජය විසින් මෙම පෞද්ගලික රෝහල වෙනුවෙන් වැය කිරීමට ආරම්භ කර ඇති මුදල රුපියල් මිලියන 3000 කි.

සෞඛ්‍ය ලේකම්වරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනූව ලද තොරතුරු ලේඛනයෙන් පැහැදිළි වුයේ කිසිදු නෛතික කොන්දේසි සහිත ගිවිසුමක් නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම සඳහා මේ දක්වා අත්සන් කර නොමැති බවත් එහි සඳහන්වේ.

එමෙන්ම මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය මුදල් මෙම රෝහලේ නඩත්තුව වෙනුවෙන් සම්පේ‍්‍රෂණය කිරීම මේ වන විටත් ආරම්භ වි ඇති අතර එය අවිධිමත් ලෙස සිදුවන බවයි.

මේ වනතෙක් නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට අයත් ආයතනයක් ලෙස නිත්‍යානුකූලව ගැසට් කර නොමැති තත්ත්වයක රාජ්‍ය මුදල් එම ආයතනය වෙනුවෙන් වැය කිරීම පිළිබඳ විධිමත් විගණන විමර්ශනයක් ආරම්භ විය යුතුය බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර විධිමත් විගණන විමර්ශනයක් ඔස්සේ සත්‍ය තොරතුරු රටට හෙලි කරනා මෙන් මෙම ලිපියෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විගණකාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී.

RSL

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.