Header Ads

කළු,ගිං හා නිල්වලා ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ: මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට - UPDATE


අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට.

බස්නාහිර, සබරගමුව හා ඌව ඇතුළු පළාත් කිහිපයකට අදත් සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින ආසන්නව පැවති පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් බවට පත්ව කොළඹට කිලෝමීටර් 850ක් බටහිරින් ස්ථානගතව ඇති අතර එය නම් කර ඇත්තේ, ඕකී ලෙස ය.

එහි බලපෑම අඩු වෙමින් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළගේ වේගය විටක පැ.කි.මී.70-80 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටක පැ.කි.මී. 40-50 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව ය.

බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.

මේ අතර මලක්කා සමුද්‍ර සන්ධිය හා බෙංගාල බොක්කේ දකුණුදිග අන්දමන් දූපත් ආශ්‍රිතව තවත් අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ අධික වැසි හේතුවෙන් නිල්වලා ගඟ පානදුගමින් සහ ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් හා කළු ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බව ය.

දිස්ත්‍රික්ක 9කට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල, රත්නපුර, මාතලේ, ගාල්ල, මාතර, නුවර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඉවුරු හා කණ්ඩි ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව එම සංවිධානය පවසයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල වී තිබේ

ඒ හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11කි.

පුද්ගලයින් 5 දෙනෙකු තවමත් සිටින්නේ අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවල ය.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 61,125 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

මේ හේතුවෙන් අවතැන්ව ඇති පවුල් සංඛ්‍යාව 961කි.

ඊට පුද්ගලයින් 3509 දෙනෙකු ඇතුළත් ය.

ඔවුන් අවතැන් කඳවුරු 30ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ආපදා තත්ත්වයෙන් සිදුවූ පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 481කි.

නිවාස 15,780 කට සහ ව්‍යාපාරික ස්ථාන 150 කට ද මින් අර්ධ හානි සිදු විය.

අධික වර්ෂාවත් සමග දියවන්නා ඔය පිටාර ගැලීමෙන් කෝට්ටේ බුත්ගමුව මාර්ගයේ පවුල් 17ක සාමාජිකයින් 95 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම පිරිස රාජගිරිය සිරිහඳ විද්‍යාලයේ රැඳවීමට පියවර ගෙන ඇති බව ය.

මේ අතර ආපදාවලින් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට අද සිට වන්දි පිරිනමන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා ආපදා තත්ත්වයෙන් හානි සිදුව ඇති සියලු දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද හා හෙට විවෘතව තබන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශ රැසක මාර්ග සහ පහත්බිම් ජලයෙන් යට වී තිබේ.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය සියලු පියවර ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.